Monday, June 26, 2017

ඕනවට වඩා දඟලන්නෙ නැතුව පාඩුවෙ වැඬේ හරියට කරන්නයි මට ඕන...



                   '' ඓෂ්චර්යට ඔබ ගොඩක් ආදරේ කරනවා නේද ? ඔබ විතරක්ම නෙවෙයි මේ මුළු ලොවක්ම ඇයට, ඇයගේ ඇස් දෙකට ගොඩාක් ආදරය කරනවා. ඔබට හිතිල ඇති දවසක මටත් ඓෂ්චර්යගෙ මූණ බලන්න තිබුනනන් හොදයි කියල. දුක්වෙන්න  ඕනේ නැහැ දැන්. ඇය ලංකවට ඇවිල්ලා. ඇය ඒ තරමටම ලස්සනයි. හැබැයි ඇය ඉපදිලා තියෙන්නෙ නම් ඉන්දියාවෙ නෙවෙයි ලංකාවෙ. ඇය අයිති ලාංකික රසිකයන්ට. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ලොකල් ඓෂ්චර්යා නමින් හඳුන්වන දිනූෂා සිරිවර්ධන. මේ දවස්වල ඇය නෙතූ ටෙලි නාට්‍ය තුළින් අපේ නෙත් හැඩකරනවා. දවසක ඇය බොලිවුඩයත් හැඩකරයි. ඒ ගමනට අපි සුභ පතන ගමන් බලමු ඇය අපිට මොනවද කියන්නෙ කියල ....... '' 


වැඩිපුරම කැමති දිනූෂා කියනවටද ? නෙතූ කියනවටද ?
දැන්නම් කැමති නෙතූ කියනවට.

කොහොමද මේ දවස්වල නෙතූට ලැබෙන ප‍්‍රතිචාර ?
ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා


.සම්පූර්ණ නම ?

දිනූෂා හංසනී සිරිවර්ධන

ගම ?
මහරගම

පවුලෙ තොරතුරු ?
අම්මයි, මමයි අක්කල දෙන්නයි ඉන්නෙ. තාත්ත නැතිවුණා.

ඉතින් දිනූෂා මොකද මේ දවස්වල කරන්නෙ ?
ලොකුවට වැඩක් නෑ ඉතිං. නෙතූ ඩ‍්‍රාමා එකේ ෂූටිං කරනවා.

ඊට අමතරව ?
රංගනයට අමතරව මම මොඞ්ල් කරනවා. හැබැයි බ‍්‍රයිඞ්ල් විතරයි.   

දිනූෂ එතකොට අධ්‍යාපන කටයුතු හමාර කරලද ඉන්නෙ ?
ඔව් මගේ ඉගෙනීමේ කටයුතුනම් අවසන්. ඒත් අදහසක් තියෙනවා රංගනය ගැන තවදුරටත් ඉගෙනගන්න.

මොකද එකපරටම රඟපාන්න එන්න හිතුනේ ?
මම මීට කලින් නම් ගොඩක්ම අකමැතියි රඟපාන්න .ඒත් පස්සෙ කාලෙක හිතුණ රඟපාන එක වරදක් නෙවෙයි කියලා.

මුළින්ම රඟපෑවෙ ?
මම මුළින්ම රඟපෑවෙ කමර්ෂල් එකක. ඒ මං පොඩි කාළේ. තාත්ත තමයි මාව රංගනයට යොමුකළේ. ඊට පස්සෙ මාගෙ අක්ක මට උදව් කළා ගොඩක් මට මේ තැනට එන්න.

නෙතූ දිනූෂගෙ පළවෙනි ටෙලි නාට්‍යයද ?
ඔව් මේ මගේ පළවෙනි ටෙලි නාට්‍යය.

මේ ටෙලිනාට්‍යයට එන්න පාර කැපුණේ කොහොමද ?
ශාන්ත අයියගෙ අලූත් නාට්‍යයට නළු නිළියන් ගන්නව කියල මගෙ යළුවෙක් තමයි කිව්වෙ මට. මං ඇප්ලිකේෂන් එකක් දැම්මා. පස්සෙ ස්ක‍්‍රීන් ටෙස්ට් එකට ගියාම සිලෙක්ට් වුණා. 

දිනූෂට වාසනාව ගෙනාවෙ නළ දත නේද ?
ඒකත් එක සාධකයක් වෙන්න ඇති. හැමෝටමත් එහෙම නෑනෙ නේද ? ඒ වුණා කියල අමාරුයි. දක්ෂතාවයත් අනිවාර්යෙන් තිබිය යුතුයි.

මෙච්චර රංගනයට අකමැත්තෙන් ඉඳපු කෙනා මොකද එකපාරටම රංගනයට එන්න හිතුණේ ?
එහෙම විශේෂත්වයක් නෑ ඉතිං. පස්සෙ කාලෙක හිතුණා රංගනය හොඳයි කියල. මට තාම හොඳටම රඟපාන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. තාම මම අලූත්. ඉගෙනගන්න මට තව ගොඩක් දේවල් තියෙනවා. 

ඉස්සිස්සෙල්ලාම කැමරාව ඉදිරියේ රඟපාද්දි භයක් දැණුනෙ නැද්ද ?
මොඞ්ල් කරන නිසා කැමරාව මට නුහුරු දෙයක් නෙවෙයි. ඒත් දෙබස් අමතක වෙයි කියල තමයි ගොඩක්ම භය වුණේ.

අත්දැකීම් බහුල රංගන ශිල්පීන් එක්ක රඟපාද්දි ?
පොඩි භයක් තිබුණා. ඒත් වරදින හැම වෙලාවකදීම ශාන්ත අයියා විශ්ව අයියා නිපුනිකා වත්සලා චමිලා අක්කලා මට මෙහෙම කරමු නංගි මේ විදියට කරන්න කියලා ආදරෙන් කියලා දෙනවා. ඒක නිසා බයක් දැනුණේ නෑ.

රංගනයට එන්න  ඕන නිසාද මොඞ්ල් කරන්න හිතුණේ ?
මොඞ්ල් කළේ ආසාවට. රඟපාන්න ඉතිං ඉස්සර ඉඳන් ගොඩදෙනෙක් කතා කළා. ඒත් මම කැමති වුණේ නැහැ. පස්සෙ හිතුණා රඟපාන්න. දැන් දෙකම සමබරව කරගෙන යනවා.

එහෙම ආපු ගොඩක් නිළියො අද හොයාගන්නවත් නෑ. දිනූෂටත් ඒකම වෙයිද ?
එහෙම වෙන එකක් නැහැ. මට ගැළපෙන චරිතයක් අවොත් කරනවා.  ඕනවට වඩා දඟලන්නෙ නැතුව පාඩුවෙ වැඬේ හරියට කරනවනන් එහෙම වෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ. එක දෙයක් හරි හරියට කරන එකයි වැදගත්.

ඔහොම කිව්වට විවාහයෙන් පස්සෙ මහත්තය කිව්වොත් රඟපාන්න එපා කියලා ?
එහෙම කෙනෙක් මැරි කරල වැඩක් නෑ. මාව හොඳින් තේරුම්ගත්ත කෙනෙක් තමයි මං මැරි කරන්නේ. දෙන්න හොඳින් තේරුම් අරගෙන ඉන්නවනන් එහෙම වෙන්නෙ නෑ. මටත් එහෙම වෙන එකක් නැතිවෙයි.

පෙම්වතෙක් ඉන්නවද දැන් ?
ඒ ප‍්‍රශ්නේ අතාරිමු නේද ........... 

ක්ෂේත‍්‍රයේ නළුවන්ගෙන් එහෙම ආදර යෝජනා ආවෙ නැද්ද ? 
අයියෝ ... තාමනං නෑ ..... 

විවාහවෙන්න තාම අදහසක් නැද්ද ?
දැන්ම අදහසක් නෑ. තව අවුරුදු 03 කින් විතර තමයි හිතාගෙන ඉන්නෙ.

ලෝකල් ඓෂ්චර්යා කියන්නෙ මොකද ?
ඒකට හේතුව මමත් දන්නෙ නැහැ. ගොඩක් අය මට එහෙම කියනවා. සමහරවිට ඒ පෙනුම මට ටිකක් ඇති නේද ?

ඒකද දිනූ ආඩම්බරයි කියන්නේ ?
ඒකනං බොරු කතාවක්. මං ආඩම්බර නෑ. එහෙම වුණා කියල මට ලැබෙන දෙයක් නැහැනේ. මට ආදරය කරන කෙනෙක් එක්ක හිනාවෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ. ඒක මට සතුටක්. මිනිස්සු ආදරය කරද්දී ආඩම්බර වෙනව කියන්නෙ ඒ එයාගෙ මෝඩකම.

ජීවිතේ වැඩිපුරම දුක් වුණු දවස මතකද ?  
දුක්වුණු දවස් 02ක් තියෙනවා. එකක් මගේ තාත්තා නැතිවුණු දවස. අනික මම 2016 දී රූපවාහිනී නාලිකාවක අවුරුදු කුමාරි තරගයකට සහභාගි වුණා. ඒ තරගයේදි මට ලොකු අසාධාරණයක් වුණා. මම අවසාන 05 දෙනා අතරට ආවා. ඒත් මට බොරු චෝදනාවක් කරල ජයග‍්‍රහණය වෙන කෙනෙක්ට දුන්නා. මම ඇහුවම කිව්වෙ කරන්න දෙයක් ඈ කියලා. දුක හිතුණා ගොඩක් මාධ්‍ය ආයතනයක් ඒ විදියට හොයන්නෙ බලන්නෙ නැතුව වැඩකරද්දි.
එහෙම වෙලා ආපු ගමන ගැන සතුටුද ?
ඇත්තටම ඔව්. මම මගේ ගමන අත්හැරියේ නෑ. මං වැරැද්දක් කළේ නැති නිසා මං අද සාර්ථකයි.

ජනප‍්‍රිය සම්මානය ද හොඳම නිළිය සම්මානය ද දිනූෂාට  ඕනේ ?
මම තාම ක්ෂේත‍්‍රයට ආවා විතරයි. තව දිගු ගමනක් තියෙනවා. ඒ නිසා තාම මගේ හිතේ ඒ සම්මාන දෙකම දැනට නෑ. පරිණත වෙන්න වෙන්න ඒ අදහස මට දැනෙයි දවසක.






'' මා  භරණ ''

No comments:

Post a Comment