Monday, July 9, 2018

ඇත්තටම අපිට අපේ ජීවිතවල හැමදාම හැමදේම කරන්න බැහැ



සිංහල සිනමාවේ දැනටමත් සොඳුරු යුවතිය ඇය. දශක ගණනාවක් මුළුල්ලේ ඒ ඇස් සිනමාවට ලබාදෙන කාන්තිය කියා නිම කළ නොහැකි තරම්.  ඕනෑම කෙනෙක් වයසට යෑම සාමාන්‍ය දෙයක් වුවත් එදා තිබුණු ඒ ලස්සන අදටත් ඒ ඇස් දෙකෙන් විහිදෙන්නේ ඇයටම උරුම වූ දෙයක් ලෙසින්. කාලය ඇයට ඒ තරමටම වාසනාව ගෙනදෙනවාදෝයි විටෙක සිතෙන්නේ ඒ නිසාවෙන්මයි. ඇය වෙනුවෙන්ම එදා සිනමා යුගයක් ලියවුණා ඔබට මතක ඇති. ඒ මතකයන් සහ ඇයගේ වගතුග ආවර්ජනය කරන්නයි මේ වෙලාව. මේ හෙළ සිනමාවේ සොඳුරු  ඇස් දෙකේ උරුමැත්තිය සබීතා පෙරේරා ....

ඉතිං සබීතා කොහොමද ?

හොඳයි. හොඳින් ඉන්නවා.

මේ දවස්වල නම් ටිකක් නිදහසේ කාලය ගතකරනවා වගේ ?

අපි හිටපු ගෙදර මාරු කළා. මාස දෙකක් තිස්සෙ ඒකට වෙහෙසුනා. මේ දවස් ටිකේම ඒ වැඩත් එක්ක තමයි හිටියේ. අලූත් තෙනකට ආවේ. ඒකෙ ලිපිනය 66 ඒ, වෝඞ් පෙදෙස, කොළඹ. 

කලා කටයුතුවලින් ඔබ දැන් පේ‍්‍රක්ෂකයා මුණගැහෙන්නේ නැති තරම් ?

මම අවසානෙටම සම්බන්ධ වුණේ හිරු නාළිකාවේ සුපර් හීරෝ රියලිටි වැඩසටහනේ අවසාන මහා තර`ගයේ විනිශ්චය සඳහා. මහේන්ද්‍ර, චන්න පෙරේරා, ස්වර්ණා අක්කා අපි හතරදෙනා හිටියේ. ඒක මට ලොකු ආඩම්බරයක්. මොකද ස්වර්ණා අක්කත් එක්ක මට කවදාවත් රඟපාන්න ලැබිලා නැහැ. දවසක් තිස්සෙම අපි එකට හිටියා. කතාබහ කළා. විනෝද වුණා. ඒක මට ලොකු සතුටක්. ඒ ඇසුර මට ලොකු දෙයක්. 

ස්වර්ණා මල්ලව ආරච්චි වැනි සිනමාවෙ දැවැන්ත චරිතයක් සමඟින් සිනමාව තුළ එකිනෙකට ගැටෙන්නට නොලැබීම ගැන ඔබෙ හිතේ දුකක් නැද්ද ? 

ඇත්තටම එහෙම දෙයක් වුණේ කොහොමද කියන මටත් හිතාගන්න අමාරුයි. බොහෝ දැවැන්ත චරිත සමඟ වැඩ කරලා තියනවා. ඒ අවස්ථාව මට ගිලිහුනත් මම ඇයව අත්හැරියේ නැහැ. මම චරිත නිරූපණය කරනකොට ඇය දිහා බලාගෙන තමයි මම මගේ රංගනය ගොඩනගා ගත්තේ. ඇයගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා. ඇයවගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබීමත් සතුටක් වුණා. ඒ දවසෙත් මං ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගත්තා.

කොහොමද එහෙම විශේෂ දෙයක් ඔබට ගිළිහී යන්නේ ?

මෙහෙමයි විජය කුමාරතුංග මියගිය අවසාන කාලෙදි මට කතාකරලා තිබුණා චිත‍්‍රපටයකට. ඒ චිත‍්‍රපටයේ රඟපාන්න හිටියේ ස්වර්ණා මල්ලව ආරච්චි, විජය කුමාරතුංග සහ මම. මම ගොඩක් ආසාවෙන් හිටියේ ඒකට රංගනයෙන් දායක වෙන්න. නමුත් අවාසනාවකට විජය කුමාරතුංග මිය යෑමත් එක්කම මට ඒ අවස්ථාව ලැබුනේ නැහැ. චිත‍්‍රපටයත් එහෙමම ඇණ හිටියා. ඊට කලින් නම් එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ මට.

යුග ගණනාවක් දක්ෂතම, ජනප‍්‍රියම රංගන ශිල්පිනිය වුණු ඔබ මෑත කාලීන සිනමාපට වලට ඔබේ ඒ හැකියාව ලබා නොදෙන්නේ කිසියම් හේතුවක් නිසාද ?

නෑ මෙහෙමයි. ඇත්තටම අපිට අපේ ජීවිතවල හැමදාම හැමදේම කරන්න බැහැ. අනිත් එකජනප‍්‍රියත්වය කියන දේ හැමදාම තියන දෙයක් නෙවෙයි. නමුත් සිංහල සිනමාව තුළ ජනප‍්‍රියත්වය කියන දේ මට ගොඩක් ඉහළින්ම ලැබුණ කෙනෙක්. අපි ජීවත්වෙන එකත් සදාකාලික නැති එකේ ජනප‍්‍රියත්වය කියන දේ ඉතාම පොඩි දෙයක් විතරයි. ඒක සදාකාලික නැහැ. මම ජනප‍්‍රියත්වය කියන දේ හඹාගෙන ගියපු කෙනෙක් නෙවෙයි. ඒක මගේ වාසනාවකට ලැබුණු දෙයක්. මගෙ පුතාට අවුරුදු දහ අටක්. ඒ නිසා ඒ කාලයේ මම සිනමාවට කාලය වෙන්කළේ ගොඩක් අඩුවෙන්. ජීවිතේ වැඩි කාලයක් මම කැපකළේ සිනමාවට. මම මැරෙනකනුත් සිනමාවත් එක්ක ජීවත් වෙයි. ඒක ඒතරම් සොඳුරු තැනක්. ඒකෙ තේරුම මම හැමදාම චිත‍්‍රපටවල රඟපානවා කියන එක නෙවෙයි. මම ගොඩක් ආදරෙයි සිනමාවට, සංගීතයට, නර්තනයට. මගේ සාමාන්‍ය මානසිකත්වය මම හදාගන්නේ සිනමාවෙන් සහ සංගීතයෙන්. ඒකයි මම කිව්වෙ මම මැරෙනකන්ම සිනමාවත් එක්කම ඉදියි කියලා. 


ඒ කියන්නෙ ඔබ රංගනයෙන් තවත් ඈත්වෙන්නද කල්පනාව ?

රංගනයෙන් ඈත්වෙනවා කියන්නෙ සිනමාවෙන් ඈත්වෙනවා කියන එක නෙවෙයි මං මුලින් කිව්ව වගේම. මගේ හිත ඇතුළේ ඉන්න රංගන ශිල්පිණියට අවස්ථාවක් දෙනවා මම කැමති හොඳ අධ්‍යක්ෂකවරයෙක් මට ආරාධනාවක් කළොත්. එතනදී මගේ රංගන ශිල්පිනිය ඉස්මතු වේවි. ඒත් චරිත ගොඩක් බදාගෙන කරන්න මම කැමති නැහැ. මොකද මම ආස නැහැ දැන් ගොඩක් කාර්යබහුල වෙන්න. ඒකයි මම කියන්නෙ. නැත්නම් ආස නැතුව නෙවෙයි.

සිනමාවේ අලූත් පරම්පරාව ගැන මොකද හිතන්නෙ ?

මාලනි අක්කලාට පස්සෙ අපි ආවා වගේ මගෙන් පස්සෙ ප‍්‍රම්පරා දෙකක් සිනමාවට ඇවිල්ලා ඉන්නවා. ඔවුන් හරි දක්ෂයි. ඒ අයගෙන් සිනමාව ඉදිරියට ගෙනියන්න  ඕන තරම් අය ඉන්නවා.  ඕන තරම් ඔවුන්ට ඉඩ තියනවා. අපි ඒ අයට ඉඩ දීලා තියනවා.

දැන් ඔබේ ජීවිතයේ පවුලට ලැබෙන්නේ මොනවගේ තැනක්ද ?

දැන් මගේ ජීවිතයේ පවුලට සහ පුතාට ලැබෙන ඉඩකඩ වැඩියි. සිනමාවට ගොඩක් යොමු වුණොත් මට ඒ දේවල් කරන්න කළමනාකරණය කරගන්න අමාරුයි. පවුල් ජීවිතය තුළ වගකීම් දරනකොට අපි අපේ පවුලත් එක්ක ඉන්න  ඕන. මම තනිකඩව ඉන්නකාලෙ මට ඒක ප‍්‍රශ්නයක් නෑ. විවාහ ජීවිතය තුළදී එහෙම බැහැ. මගේ ගෙදර හැම වැඩක්ම කෙරෙන්නේ මගේ අතින්. එතකොට මට ලොකු වගකිමක් තියනවා. පුතාට, මහත්තයට මගෙන් වෙන්න  ඕන යුතුකම් මම දැන් කරන්න  ඕන. ඒ නිසා මට දැන් කාර්යබහුල වෙන්න බැහැ. පවුල වෙනුවෙන් දැන් මම වැඩි ඉඩකඩක් දීලයි තියෙන්නේ.

පුතා ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ ?

සමාජෙ ගැන බැලූවම අපි හිතපු සමාජෙට වැඩිය දැන් හරි වෙනස්. ඒ සමාජයට මම හරි බයයි වෙලාවකට. හිතාගන්න බැරි අමුතුම සමාජයක් තමයි අද ගොඩනැගිලා තියෙන්නේ. මම අම්ම කෙනෙක් විදියට මම හරි බයයි. මම කැමති නෑ ඒකට. අම්මලා හරි බයයි ඒ හින්දා ළමයි ගැන. මමත් අම්ම කෙනෙක් විදියට බයයි ඒකට. මගේ පුතා මම ඒ හින්දා හදන්නෙ පොළොවෙ පයගහලා ඉන්න, මනුස්සකම් හ`දුනන, කෙනෙකුට හොඳට කතාකරන්න පුලූවන්, ජීවිතේ වටිනාකම් හරියට තේරුම්ගත්ත කෙනෙක් විදියට. එයා ආගමට කොඩක් නැඹුරුවක් තියනවා. පුතා ආගම විශ්වාස කරනවා. ඒ තැනට මම ඔහු ගෙනල්ලා තියනවා. මට එහෙම තමයි පුතාව හදන්න  ඕනවෙලා තිබුණේ. හැබැයි ලොකු බලාපොරොත්තු නැහැ. හැම අම්මා කෙනෙක්ම දකින සුබ සිහින මමත් පුතාගෙන් දකිනවා.

පුතාත් අනාගතයේදි කලාවටම සම්බන්ධ වෙයිද ?

අපේ අම්මා, තාත්තා හැමෝම කලාවට සම්බන්ධයි. පුදුම ගෞරවයක් තිබුනෙ කලාවට. නමුත් මට පුතා ගැන නම් මට එහෙම කියන්න බැහැ. හැබැයි මම කැමතියි එයා හොඳට ඉගෙන ගන්නවා නම්. අද කාලෙ ගොඩක් වැදත් ඉගෙනීම. එහෙම ඉගෙනගන්නව නම් තමයි මම කැමති. ඒ බලාපොරොත්තුව තමයි තියෙන්නේ. එතනින් එහාට මම තාම හිතලා නැහැ.  

සබීතා කිව්වම තවමත් හිතේ මැවෙන්නේ ලස්සන කියන වචනය සහ ඔබේ රූපය. කොහොමද ඒ රූපය හැමදාමත් එකම විදියට තියාගන්නේ ?

මං හිතන දෙයක් තමයි මං ගොඩක් පිං කරලා ඇති. මට දැන් වෙලාව තියන නිසා බුද්ධාගමට අපි ගොඩක් කිට්ටුවෙලා තියනවා. ආගමේ කියන විදියට පිං කරපු අය හොඳින් ඉන්නවා සහ ලස්සනට ඉන්නවා කියන එක. දැන් ඉතිං පින් ඉවර වීගෙන එනවද දන්නෙ නැහැ. ඒ හින්දා තව පිං කරන්න  ඕන. මං ගොඩක් පිං කරපු නිසා වෙන්න ඇති නේද මෙහෙම ඉන්නේ.
ගැහැණියක් වෙලා ඉපදීම ඔබට යම් දවසක ජීවිතේට කලකිරීමක් එක්කරපු අවස්ථා තියනවද ?
හදවතින්ම කතාකරනවා නම් මට ජීවිතේ කවමදාකවත් ඒ ගැන කලකිරීමක් ඇතිවෙලා නැහැ. ගොඩක් අය මටම කියලා තියනවා කාන්තාවක් වුණු එක තමයි මේ හැමදේකටම මුල කියලා. නමුත් මට එහෙම ප‍්‍රශ්නයක් වෙලා නැහැ කවමදාකවත්. ඒකට හේතුව මම කාන්තාවක් වෙලා ජයග‍්‍රහන ලබා ගැනීම. එහෙම බැරි වුණු අය තමයි කලකිරෙන්නෙ ඒ ගැන. මම ඉන්න තැන එක්ක බලන කොට මම ගැහැණියක් වීම මට සතුටුයි.

ඔබ නිළියක් නොවුන නම් ?

මම පොඩි කාලේ ගොඩක් ආසාවෙන් හිටියේ දොස්තර කෙනෙක් වෙන්න. නමුත් මට ඒක බැරි වුණා. ඒ නොතේරෙන කාලේ. නමෞත් තේරෙන කාලේ මගේ ආසාව තිබුණේ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. මම ආස වුණා කැම්පස් යන්න. එතනින් ඉහලට ඉගෙනගන්න. නමුත් සිනමාවට සම්බන්ධ වීමත් එක්ක. නමුත් කනගාටුවක් නැහැ. ඒ පැත්ත නැතත් මම අනිත් පැත්තෙන් මම සාර්ථක වුණා. මිනිස්සුන්ගෙ ආදරය ලැබීමම කොච්චර වාසනාවක්ද. ඒ සතුට මට අදටත් තියනවා.

පැරණි පෙම් මතක අද ඔබට ගෙන එන්නේ මොන වගේ හැඟීමක්ද ?

දැන් ඉන්න ගොඩක් අය රිදී තිරයේ පෙම්වතුන් වුණු අය. ඒ හැම කෙනෙක්ම මට මගේ ජීවිතයට අත්දැකීම තමයි එකතු කරලා තියෙන්නේ. හොඳ අත්දැකිම් මතක තියාගන්නවා සහ නරක් අත්දැකීම් අමතක කරල දානවා. අතීතේ ඒ හැමදේම අතීතෙට භාරයි. අපි වර්තමානය තුළයි ඉන්න  ඕන. අතීතය සිහිනයක් පමණයි කියල තමයි කියන්න තියෙන්නේ.

දේශපාලනයට සම්බන්ධවෙන්න අදහසක් ?

කවදාවත් එහෙම අදහසක් නැහැ. විජය කුමාරතුංග ඇරෙන්න අනිත් හැමෝටම වගේ මිනිස්සු බනිනවා මට ඇහිලා තියනවා. ලංකාවෙ දේශපාලනය දැන් පිරිහිලා තියෙන්නේ. දේශපාලනයට එන්න  ඕන යමක් කරන්න පුලූවන් අය කියලයි මම හිතන්නේ. මගේ අදහසක් නැහැ කවදාවත් දේශපාලනයට එන්න.

        
    ප‍්‍රසංග මාභරණ

    
   

No comments:

Post a Comment