Thursday, July 12, 2018

රූපවාහිනිය ඉන්දියානුකරණය වීම තුළ අන්ධානුකරණයට ලක් වූ ලාංකීය කාන්තාව




 අක්ෂර මාලාව සොයා ගැනීමෙන් මුද්‍රණ ශිල්පය ලොව බිහිවීමත් සමඟ සන්නිවේදනයේ දොරකවුළු විවර වීමට හේතු වුවා යැයි කෙනෙකුට සිතිය හැකිය. එමෙන් ම කැමරාව බිහිවීම දෘශ්‍ය මාධ්‍යයේ නිම්වළලූ පුළුල් වුවා බඳු ය. එසේ වුවත් සන්නිවේදනයේ විප්ලවය සිදුවූයේ විද්‍යුත් මාධ්‍ය ලොව බිහිවීමත් සමග ය. එය එතෙක් පැවති සන්නිවේදන ක‍්‍රමයන්හි අතික‍්‍රමනයකි. 18 වන සියවස තුළ ඇතිවූ නව සන්නිවේදන ක‍්‍රමය බටහිර රටවල් පමණක් නොව සමස්ත ලෝකය ම නව මාවතකට යොමු කරන්නට හේතු විය. කාර්මික විප්ලවයේ පුර්ණ ප‍්‍රතිඵලය ලෙසින් ලෝකයට දියුණු සන්නිවේදන මාධ්‍යයන් බිහිවන්නට වු අතර රූපවාහිනිය යනු එකී සන්නිවේදන මාධ්‍යයන්ගේ වර්තමානය තුළ ඉතාමත් ජනපි‍්‍රය හා ප‍්‍රබලතම සන්නිවේදන මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකි වන්නේය.

 මධ්‍යතන යුගයේදී භාණ්ඩ නිෂ්පාදන ක‍්‍රමවේදය ගෘහාශි‍්‍රතව පමණක් සිදු වු අතර 18 වන සියවසෙන් පසුව එය සම්පුර්ණයෙන් ම වෙනස්වනු දැකගත හැකිය. ලාභ අරමුණු කොට ගෙන නිෂ්පාදනයන් කරන්නට පෙළඹුනු අතර අඩු පිරිවැයකින් වැඩි ලාභයක් ලැබීමේ වානිජ පරමාර්ථ සහිතව වෙළඳ පොළ ක‍්‍රමය ඉතාමත් ම තරඟකාරී එකක් බවට පත්වන්නට විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රූපවාහිනිය ද වෙළඳපොළ තරඟකාරීත්වය ඉහළ ගෙනයාමට සමත් වු උපකරණයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන්නට විය. යුරෝපය තුළ පමණක් නොව රූපවාහිනියේ එකී බලපෑම ලාංකීය ජන සමාජය ද එක ලෙස ම ආක‍්‍රමණය කර තිබෙනු දැකගත  හැකි වේ.

ශි‍්‍ර ලංකාව තුළ අධ්‍යයනයට පවත්නා සමස්ත ජනසන්නිවේදන මාධ්‍යයන් අතරින් වඩාත් ජනපි‍්‍රය හා ප‍්‍රබල ම මාධ්‍ය ලෙස සලකනු ලබන්නේ රූපවාහිනිය යි. දිගුකාලීන තීන්දු තීරණ ගැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් 1979 වසරේ ශි‍්‍ර ලංකාවට රූපවාහිනිය හඳුන්වා දෙන ලදි. එතැන් පටන් ශි‍්‍ර ලංකාවේ  ප‍්‍රමුඛස්ථානය හිමිකර ගන්නට රූපවාහිනියට හැකියාව ලැබී ඇත. 1979 වසරේදී රූපවාහිනිය ලංකාවට හඳුන්වාදීමත්, 1982 පෙබරවාරි 15 වන දින ශී‍්‍ර ලංකා රූපවාහිිනී සංස්ථාව 1982 අංක 06 දරණ ශි‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථා පණත මගින් නීතිමය රාමුවකට යටත් ව ජාතික වශයෙන් විකාශනයන් ආරම්භ කරනු ලැබිණ. එතැන් පටන් ශි‍්‍ර ලංකාවේ ප‍්‍රබල හා ජනපි‍්‍රය මාධ්‍යය ලෙස රූපවාහිනිය කටයුතු කරන්නට විය.

        ප‍්‍රබල සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් රූපවාහිනිය මානව සම්බන්ධතා ගොඩනැගීම උදෙසා කිසියම්  බලපෑමක් සිදු කරනු ලබන අතර එතුළින් සමාජයට සිදුවන බලපෑම ද ප‍්‍රබල බව වර්තමාන සමාජය දෙස සුපරික්ෂාකාරීව බලන විට පෙනි යන්නකි.

රූපවාහිනියේ සමස්ත වැඩසටහන් පිළිබඳවත් එහි බලපෑම් සහගත ස්වභාවය පිළිබඳවත් ගවේෂණය කිරිම මෙම පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ නොවන අතර රූපවාහිනිය තුළ විකාශනය වන ඉන්දියානු  මෙගා ටෙලි නාට්‍ය ලාංකීය කාන්තාවගේ චර්යා රටාවන්ට අතිශයින් බලපෑමක් කරන බව වත්මන් සමාජය දෙස බැලූවිට පෙනෙන්නට තිබේ. 

ලෝක රූපවාහිනිය ලංකාවට හඳුන්වා දීමෙන් පසුව ලාංකීය ජනයා අතර ඉතාමත් ජනපි‍්‍රය අංගයක් වූයේ ටෙලි නාට්‍ය නැරඹීම යි. පුද්ගල අභ්‍යන්තරයට සියුම් ව ඇතුළු විය  හැකි මෙන් ම ප‍්‍රබල සමාජ ශෝධන කි‍්‍රයාවලියට හැකියාව ඇති ටෙලි නාට්‍ය තුළින් සමාජයේ යථා ස්වරූපය මෙන් ම පුද්ගලයාගේ යථා ස්වරූපය විදහා දැක්විය හැකිය. ඇතැම් අවස්ථාවලදි එය මනෝ රාජික දෙයක් ද විය හැකි අතර ම ඇතැම් විට එය සමාජ යථාර්ථයක් ද විය හැකිය. එසේ වු සියුම් සුළු කාලයක් තුළ මවා පාන්නට ටෙලි නාට්‍යකට හැකියාව ඇත. වර්තමාන ටෙලි නාට්‍ය දෙස අවධානය යොමු කිරීමේදි එය ඉතා හොඳින් පැහැදිලි කර ගත හැකිය.

දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ පෙරදිග රටවල් තුළ ටෙලි නාට්‍ය ප‍්‍රධාන වශයෙන් ආකාර 03 ක් යටතේ වර්ග කිරීමක් කළ හැකිය.

           01. සෝප් ඔපෙරා
           02. යථාර්ථ නිරූපිත ටෙලි නාට්‍ය
           03. සංවර්ධනාත්මක ටෙලි නාට්‍ය

වශයෙන් ප‍්‍රධාන කොටස් 03 ක් යටතේ වර්ග කීරිමක් කළ හැකි අතර ලාංකීය සමාජය තුළ ද ටෙලි නාට්‍ය ගොඩනැගී ඇත්තේ මෙම වර්ග කිරීමට අනුකූලව ය.

වර්ෂ 1984 දී ප‍්‍රථමයෙන් ජාතික රූපවාහිනිය ලංකාව තුළ විකාශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ඒ තුළ ටෙලි නාට්‍ය විකාශනය වන්නට වුයේ විනෝදය සැපයීමේ එක් අංගයක් වශයෙනි. ඒ අනුව යමින් ලංකාවේ විකාශන වු ප‍්‍රථම ටෙලි නාට්‍ය වුයේ ඞී.බි.නිහාල්සිංහයන්ගේ ,දිමුතු මුතු , ටෙලි නාට්‍ය යි. එතැන් පටන් ටෙලි නාට්‍ය ගමන ඇරඹු ලාංකීය රූපවාහිනිය පරාක‍්‍රම නිරිඇල්ල, සිඞ්නි චන්ද්‍රසේකර, ධර්මසේන පතිරාජ, නාලන් මෙන්ඩිස්, ආරියරත්න ඇතුගල, අශෝක හඳගම යන දක්ෂ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරුන් යටතේ රතුරෝස, ළාහිරු දහසක්, යශෝරාවය, නිදිකුම්බා මල්, තුන්බිය, දුන්හිඳ අන්දරය වැනි ටෙලි නාට්‍ය රූපවාහිනිය ආරම්භක අවධියේ විකාශනය වූ ටෙලි නාට්‍ය ලෙස දැක්විය හැකිිය.






  1982 පටන් ලාංකීය සමාජය තුළ රූපවාහිනියේ ආධිපත්‍යය ජාතික රූපවාහිනිය පවත්වාගෙන ගිය අතර 1990 දී එම ආධිපත්‍යය බිඳ වැටෙනුයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවන්ගේ ආරම්භයත් සමගිනි. මෙහිදී සිරස, ස්වර්ණවාහිිනී, දෙරණ, හිරු යනාදී වශයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ආරම්භ වන්නට විය. නව වැඩසටහන් ආකෘතීන්ගෙන් සමන්විතව පෞද්ගලික නාලිකාවන් සැමවිට ම සම්ප‍්‍රදායිකත්වය අබිබවා යමින් අලූත් දෙයක් පේ‍්‍රක්ෂකයාට සමීප කරවීමට කටයුතු සම්පාදනය කරන ලදි. එනිසාවෙන් ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ එතෙක් පැවැති ආධිපත්‍යය ක‍්‍රමක‍්‍රමයෙන් අඩු වූ අතර ප්‍රෙක්ෂකත්වය පෞද්ගලික නාලිකාවන්ට එක්රොක් විය.



ලාභ ලැබීම මුඛ්‍ය පරමාර්ථය වූ අතර තරඟකකාරී ලෙස තම වැඩසටහන් ඉදිරිපත් කරන්ට විය. අඩු පිරිවැයක් වැය කරමින් වැඩි ලාභයක් ලැබිය හැකි වැඩසටහන් නිර්මාණය කරන්නට වූ අතර ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙගා ටෙලි නාට්‍ය සිංහලයෙන් හඬකවා ලාංකීය රූපවාහිනිය තුළ විකාශනය කරන්නට පෞද්ගලික නාලිකා කටයුතු කිරීමත් සමඟ ම ඒ වටා විශාල ප්‍රෙක්ෂකත්වයක්  එක් රොක් වන්නට විය. සිංහල ටෙලි නාට්‍ය ජනපි‍්‍රය සංස්කෘතියෙහි එක් අංගයක් බවට පත් වී ඇති අතර එයට හේතුව නම් සිංහල ටෙලි නාට්‍ය මගින් නිරූපිත අර්ථය සමාජයට එක්විමක් සිදුවන බැවිනි.

වානිජ්‍යකරණයට ලක් වු නුතන සමාජය තුළ මිනිසුන් තරඟකරිත්වයේ ඉහළට ම ගොස් ඇත. තමන්ට තමන් පිිළිබඳවත් සොයා බලන්නටවත් ඔවුන්ට වේලාවක් නැත. දිනයේ වැඩි පැය ප‍්‍රමාණයක් මහන්සියෙන් වැඩ කර සවස් වරුවේ තම නිවසට පැමිණෙනුයේ අතිවෙහෙසකාරී ගතත් සිතත් සමගිනි. තම ගතේ සිතේ වෙහෙසකාරී ස්වභාවය මඟහරවා ගැනීමට යොදා ගන්නා ප‍්‍රධානතම මාධ්‍ය වනුයේ රූපවාහිනි ටෙලි නාට්‍ය නැරඹිම යි. ස්ති‍්‍ර පුරුෂ භේදයකින් තොරව තම වෙහෙස මහන්සිය නිවාගන්නට යොදාගන්නේ මෙම රූපවාහිනි ටෙලි නාට්‍යන් ය.




රූපවාහිනිය හා නුතන මිනිසා අතර බිදිය නොහැකි සබඳතාවක් ඇත. රූපවාහිනියේ ලංකාගමනයෙන් පසු එහි පැවැත්ම උදෙසා ටෙලි නාට්‍ය උපයෝගී කර ගැණින. සමාජයේ සෑම ක්ෂේත‍්‍රයකට ම කිසියම් හෝ බලපෑමක්, අදාලත්වයක් ඇතිකරනට ටෙලි නාට්‍ය වලට හැකියාව ලැබී ඇත. එහිදි කාන්තාව නම් වූ සාධකය ප‍්‍රබල ලෙස භාවිත කිරීම ප‍්‍රධාන මාධ්‍යයක් වශයෙන් ටෙලි නාට්‍ය හඳුනාගත හැකියි.

ලෝකයේ සෙසු සත්වයා මෙන් ම මිනිස් සත්වයා ද බිහි වී ඇත්තේ ස්වභාව සෞන්දර්යෙන් ඉතා සුන්දර වූත් මනස්කාන්ත වුත් ලෝකයක ය. එම සුන්දරත්වය වඩවඩාත් සුන්දරවීම උදෙසා කාන්තාව ලෝකයට නිර්මාණය කර ඇත. එම කාන්තාවගේ සුරුපී බව, සුන්දරත්වය නුතනය තුළ ප‍්‍රබල ලෙස භාවිතා කරනු ලබන්නේ රූපාවාහිනිය යි. ඒ තුළ රූපවාහිනී ටෙලි නාට්‍ය තුළ ද කාන්තාවට හිමිව ඇත්තේ පුරුෂයෙකුට ද නොලැබී ඇති ස්ථානය කි. කාන්තාව ම ප‍්‍රධාන චරිතය කොට ගනිමින් කාන්තා නමක් එම ටෙලි නාට්‍යට යොදා ගැනිමට තරම් කාන්තාව සමාජය තුළ පමණක් නොව රූපවාහිනිය  තුළ ද වටිනාකමක් හිමි වී ඇත.
එසේ ටෙලි නාට්‍ය තුළ කාන්තාව ඉහළ ස්ථානයක්, වටිනාකමක් හිමිව තිබුණ ද වත්මන් සමාජය තුළ එම ටෙලි නාට්‍ය නරඹන කාන්තවනට සිදුවී ඇති බලපෑම ඉතා ඉහළ ය. ඇයගේ චර්යා රටාවන්ට, හැසිරීමට, කතාබහට, අනෙකා සමග ගනුදෙනු කරන ආකාරය යනාදි සියලූම කාරණාවන්හිදී ටෙලි නාට්‍ය මගින් කාන්තාවට කර ඇති බලපෑම අතිශය ප‍්‍රබල ය.

සිංහලයෙන් හඩකැවු ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය වත්මන් ලාංකික කාන්තාවට කර ඇති බලපෑම ඉතා ඉහල ය. ලාභය අරමුණු කරගනිමින් ඉන්දියානු ටෙලි නාට්‍ය සිංහලයෙන් හඩකවා විකාශනය කිරීම රූපවාහිනීි ආයතනයට අතිශය ලාභදායක ය. එතුළින් සමාජීය වශයෙන් වන බලපෑම නොතකා ඔවුන්ගේ ලාභය ම පරමාර්ථය කොටගෙන  ඕනෑම ටෙලි නාට්‍යක් විකාශය කරන්නට මෙම ආයතන පෙළඹී තිබේ.




අවිවේකි මනසට විවේකයක් පතා රූපවාහිනී ඉදිරිපිට ඉදගන්නා කාන්තාව ටෙලි නාට්‍ය බලන්නට පටන්ගත් මොහොතේ පටන් කිසියම්

නුතන ලාංකීය කාන්තාව ඉන්දියානු මෙගා ටෙලි නාට්‍යයේ ගොදුරක් වී ඇති බව හඳුනාගත හැකි එක් සාධකයකි. ඇයගේ එම ගොදුරු වීම ඇයට මෙන් ම පවුලට, සමස්තයන්ට ම රටට ම ප‍්‍රබල වූ බලපෑමකි. ටෙලි නාට්‍ය සිද්ධි, අවස්ථා, ගැටුම්, ඇදුම, පැලදුම එලෙසින් ම තම ජිවිතයට  ආදේශ කරගැනීමට  උත්සහ කිරීම නුතන ලාංකීය කාන්තාවගේ මුලාවීම එක් අංගය කි. ටෙලි නාට්‍ය සංකල්පයක් ලෙසින් නොසිතා එලෙස ම තම ජිවිතයට ගළපා ගැනීමට යාම තුළ කාන්තාවගේ ගෞරවනීය තත්වය පවුල, සමාජය, රට තුළ කෙමෙන් කෙමෙන් වියකී යන්නට හේතු වී ඇත.

පවුලක ශක්තිය රඳා පවතිනුයේ කාන්තාව මත යි. ලෝකයේ පැවැත්ම, පරිණාමය, වර්ධනය සිදුවන්නට කාන්තාව අත්‍යවශ්‍ය ම වී ඇත. මෙතෙක් කාන්තාවට ලාංකික සමාජය තුළ හිමිව තිබු ගෞරවනීය උසස් තත්ත්වය නිලීන වීමට ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය බලපාන්නේ යන්න බොහෝ සමාජ විද්‍යාඥයින්ගේ මතයයි. කෙසේ නමුත්ව ර්තමානය වන විට සෑම රූපවාහිනි නාලිකාවක් ම මෙම සරල ක‍්‍රමය උපයෝගි කොටගෙන පේ‍්‍රක්ෂකයාට රසවින්දනය ලබා දීමට කටයුතු කරන අතර නූතනයේ එය සමාජ ප‍්‍රශ්නයක් තරමට ම සංකීර්ණ වී ඇත. ඒ තුළ ලාංකිය කාන්තාව ද ඉන්දියානුකරණයට ලක් ව අන්ධානුකරණයට ලක් වී ඇත.





ලාංකීය කාන්තාවගේ හැසිරිම් රටාවන්, ඇදුම පැළදුම, ආහාර රටාවන්, භාෂාව ආදි සියලූ ම හැසිරීම් රටාවන් වර්තමානය වන විට ඉන්දියානුකරණයට ලක් ව ඇත. උසස් සංස්කෘතික වටිනාකම් වලින් පරිපූර්ණ වූ ලාංකීය කාන්තාව එසේ අන්ධානුකරණයට ලක් වීම ඛේදවාචකය කි. වර්තමානය වන විට එය ප‍්‍රබල සමාජ ප‍්‍රශ්න රැසක් මතුකරන ලද අතර එය වර්තමානය වන විට පවුල් සබදතාවයට, දූ දරු සබදතාවයට, ආචාර ධර්මයන්ට, සාරධර්මයන්ට ප‍්‍රබල ලෙස ගැටලූ මතු කර ඇත. ඉන්දියානු  ටෙලි නාට්‍ය තුළ ඇති දේ ඒ අයුරින් ම අනුකරණය කිරිමට යෑම තුළ වර්තමානයේ ගැටලූ රැසක් මතු වීමට එය ප‍්‍රබල සාධකයක් ව ඇත.

   ඉන්දියානු ටෙලි නාට්‍ය තුළ ඇති  කාන්තාව මූලික වූ සමාජ ක‍්‍රමය ඒ අයුරින් ලංකාවට ගෙන ඒමට වත්මන් ලාංකීය කාන්තාව කටයුතු කරන අතර ඒ තුළින්  පවුල් සම්බන්ධතාවන් කෙරේ අයහපත් බලපෑමක් එල්ල වී පවති. .

ප්‍රසංග මාභරණ


No comments:

Post a Comment