Saturday, August 4, 2018

හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ ..



                                
''වසන් වන සඳ වලාකුළකට  හඩා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ ....
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ ....''


මේ ගීතය ඔබ මේ දවස්වල අහන ගීතය වෙන්න  ඕන. බලන බලන ඇහෙන එහෙන හැම තැනකම හැම කෙනාම මුමුනන්නේ මේ ගීතයේ අවසන් පද පේලිය. ඒ වගේම වික්ටර් රත්නායකයන්ගේ සහ සංඛ දිනෙත්ගේ හඬෙහි සුසංයෝජනය ඒ ගීතයේ රසවත් බව තව තවත් වැඩි කළා සේ යි. සංඛගෙ රූපය පිටුවෙ පැත්තක දකිද්දි මම දන්නවා ඔබ හොයන්නෙ මේ ගීතයේ වගතුග කියලා. ඒ ගැන සංඛ කියන්නෙ මොකද්ද කියලා ඔබම සංඛගෙන් අහන්න. මම ඔබට බාධා කරන්නෙ නැහැ. මේ සංඛ දිනෙත් ...

සංඛ කොහොමද අලූත් ගීතයට ලැබෙන ප‍්‍රතිචාර ?

තාම දවස් කිහිපයයි වෙන්නෙ සිංදුව රිලීස් කරලා. අතිශය ඉහළින් ප‍්‍රතිචාර ලැබෙනවා. සාමාන්‍යයෙන් 2012 ඉඳන් රිලීස් කරපු මගේ හැම ගීතයකට වගේ ඉහළ ප‍්‍රතිචාරයක්, වටිනාකමක් වගේම ඉහළ ඇගයීමක් ලැබිලා තියනවා. ඒක මම දන්නේ නෑ මොකද හේතුව කියලා. මොකද්දෝ වාසනාවක් ඇති මට ඒකට. ගොඩක් අය කියනවා ගීතය අහද්දි ඇෙඟ් හිරිගඩු පිපුණා කියලා. සතුටුයි මේ වගේ වාතාවරණයක් තියන වෙලාවක, මිනිස්සුන්ට හරියට කන්න බොන්නවත් නැතුව ඉන්න වෙලාවක මගේ ගීතයකින් ඔවුන්ගේ හිතට සහනයක් ගෙන්න පුලූවන් වෙච්ච එක ගැන.


මේ වටිනාකමේ වැඩි අයිතිය වික්ටර් රත්නායකයන්ට කිව්වොත් ?

ඔව් ඇත්තෙන්ම ඒක තමයි ඇත්ත. එතුමන් අපේ රටේ දැනට ජීවත්ව සිටින සංගීත ප‍්‍රතිමූර්තිය විදියටයි මම එතුමන් දකින්නේ. එතුමන් එක්ක මේ ගීතය මම ගායනය ගැන මිනිස්සු එක එක විදියට ගළපගෙන තියනවා. කොහොම වුණත් එතුමන් නිසා තමයි මේ ගීතයේ වටිනාකම මේ තරම් වැඩිවෙන්නේ.

මේ තරම් ලංකාවේ ප‍්‍රවීන ගායකයන් සිටියදී ඔබ එතුමන්ව ගන්න හේතුව ?

මීට අවුරුදු දෙකකට කලින් දිල්ෂාන් පතිරත්න නිකුත් කළා කලියුගයේ කුමාරයා කියලා කවි පොතක්. ඒ උත්සවයට මාත් යනවා. ඒ පොතේ මම දකිනවා හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ කියන වචන ටික. ගීතය රචනයේ අයිතිය දිල්ෂාන් පතිරත්නට දිය යුතුයි. ඒකෙන් මට හිතුනා යම්කිසි සංගීතමය ප‍්‍රකාශනයක් මට හදාගන්න පුලූවන් කියලා. පසුකාලීනව මගෙ අතින් ඒ තනුව නිපදවෙනවා. පස්සෙදි මම මේ තනුවට පොඩි ගායනයක් කරලා බලද්දි ඒ සංගීතමය කොටස් අතරේ මට දැනෙන්නේ වික්ටර් 
රත්නායකයන්ගේ හඬ. ඒ හින්දා මම එතුමන්ට ආරාධනා කරනවා. එතුමගෙ ප‍්‍රසිද්ධිය මට ඒකට අදාලත්වයක් වුණේ නැහැ.

එතුමන් අකමැත්තක් පෙන්නුවෙ නැද්ද ?

මම කලින් එතුමන්ට කතාකරලවත් තිබුණේ නැහැ. සමිතා මුදුන්කොටුව මහත්මියගෙන් තමයි මම එතුමගෙ නම්බර් එක ඉල්ලගන්නේ. එතුමට මම කතාකරලා විස්තරේ කිව්වම එතුමන් එනවා මගේ ශබ්දාගරයට. මම ඩමි එක හදපු ගීතය එතුමන් අහලා ගීතය ගායනා කරන්න කැමති වෙනවා. එතුමන් මීට කලින් පිරිමි යුගල ගීතයකට ගායනා කරලා තියෙන්නේ අමරදේව මාස්ටර් එක්ක සහ සිසිර සේනාරත්න එක්ක විතරයි. ඉන් පස්සෙ තමයි මාත් එක්ක මේ ගීතය ගායනා කරන්නේ.

ගීතය ගායනයෙන් අනතුරුව ගීතය ගැන වික්ටර් රත්නායකයන්ගේ අදහස ?

මම එතුමන්ව කියවලා තියන විදියට එතුමන් හැමදෙයක්ම සම සිතින් භාරගන්න කෙනෙක්. ගීතයට ආරාධනා කරපු අවස්ථාවේ වගේම එතුමන් ගීතය ගායනයෙන් පස්සෙත් මේක මාරයි කියලා බොරුවට කිව්වෙ නෑ. එතුමන් ගීතය ගායනා කරලා අවසානෙදි උපේක්ෂා සහගතව මගෙන් ඇහුවේ හොඳයි නේද සංඛ සිංදුව කියලා විතරයි. ඒක මාර ලොකු දෙයක්. එතුමන් මහා ගංගාවක් නම් මම පුංචි පැලයක් විතරයි. ලොකු ගංගාවක් පුංචි පැලයක් ලඟ නතර වුණාම ඒක ටිකක් විස්තර කරන්න අමාරු කතාවක්.

මේ ගීතයට වීඩියෝවක් කවද වගේද අපිට බලන්න පුලූවන් ?

නැහැ මම හිතන්නෙ නැහැ මේ ගීතයට මම වීඩියෝ එකක් කරයි කියලා. මේ ටෙ‍්‍රන්ඞ්ස් ඔක්කොම කඩන්න  ඕන කියන තැන තමයි මම ඉන්නේ. වීඩියෝ එකක් එනව කියන්නෙ මිනිස්සු සිංදු අහන්නේ නැහැ. බලනවා විතරයි. මේ ගීතය අපි අහන්න තියමු. මිනිස්සුන්ට සිංදු අහන තැනට ගේන්න තමයි මගේ මේ උත්සාහය.

සංගීතයේ වෙනස්ම මානයන් හොයාගෙන යන එක සංඛගේ අනන්‍යතාවයද ?

ඒක මම දකින විදියට මම මේ කරන්නේ මගේ ඇරියස් කවර් කරගන්න එක කියලයි මට හිතෙන්නේ. මේ හැම දෙයක්ම පොඩි කාලෙ මගේ හිතේ තිබුණ හීන. ඒවා එකින් එක හැබෑවෙනවා දැන්. මට මේ හැමදෙයක්ම මාර මැජික්. වික්ටර් සර් එක්ක සිංදුවක් කියන එක. කසුන් කල්හාර එක්ක එකට ස්ටේජ් එකේ හිටගන්න එක. ඉන්දියාවෙ ලොකුම ගායකයෝ මගේ සිංදු ගායනා කරන එක. අපි වගේ හත්මුතු පරම්පරාවක ගායකයෙක් නැති පොඩි මිනිස්සුන්ට මේව මැජික් වගේ. ඒ හැමදේකට හේතුත් තියනවා.

සංඛගෙ ඊළඟ වෙනස මොනවගේ එකක් වෙයිද ?

තව ගොඩක් දේවල් ඉදිරියේදී වෙන්න නියමිතයි. මම කටින් බතල හිටවනවට වඩා හොඳයි ඒ දේවල් කරල පෙන්නුවම. මගෙ අම්මත් මට කියලා තියෙන්නෙ එහෙම. ඒ නිසා ඒ ක‍්‍රමය මම අනුගමනය කරනවා. කොහොමහරි මම මගේ රටේ කොඩිය දවසක ලෝකෙට අරන් යනවා මට පුලූවන් විදියට.

මාධ්‍ය ඉදිරියට සංඛ වැඩිය නො එන්න හේතුව ?

ඒක මෙහෙමයි. අපිට මාධ්‍යයෙන්වත් මේ වෙද්දි හරියට සහයෝගයක් නෑනේ. කොයි තරම් දක්ෂයන් හිටියත් ජෝකර්ලනේ දැන් මාකට් කරන්නේ. වෙනරටවලත් ජෝකර්ලා මාකට් වෙනවා එක්තරා ප‍්‍රමාණයකට. නමුත් ලංකාවේ අපේ ප‍්‍රවීනයන්ට වඩා ජෝකර්ලා මාකට් කරන එක මාධ්‍යය කරනවා. ඒකට වගකියන්න  ඕන මාධ්‍ය ආයතන. ඔවුන් මතක් කරගත යුතුයි අපි ආවා වගේ අපේ පිටිපස්සෙන් තවත් දක්ෂයන් බොහෝ පිරිසක් එනවා කියන එක.

පේ‍්‍රක්ෂකයන්ගෙන් සංඛට තියෙන ප‍්‍රතිචාර ?

මගේ වටේ ලොකු කල්ලියක් ඉන්නවා. මට ආදරය කරන කල්ෂ සංඛ්‍යාත පේ‍්‍රක්ෂක පිරිසකුත් ඉන්නවා. මගෙ හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ රසිකයන්ට මගේ පස්සෙන් ඉන්නවට. එයාල නැත්නන් මම අද සංගීතය අතෑරලා වෙන රස්සාවක් කරනවා. සල්ලි හොයන කලාකරයෙක් හැදෙනවා වෙනුවට සංගීතය හදන කලාකාරයෙක් හදන්න උදව් කලාට ගොඩක් ස්තූතියි මගේ රසිකයන්ට. ඒ වගේම මතක් කළ යුතුයි. අගෝස්තු 11 වෙනිදා වික්ටර් රත්නායකයන්ගේ සරස ප‍්‍රසංගය තියෙනවා. නුවර තමයි තියෙන්නේ. මගේ ආදරණීය රසික රසිකාවියන්ට ආදරෙන් ආරාධනා කරනවා බලන්න එන්න කියලා.
   

 



  
   

No comments:

Post a Comment