Tuesday, May 15, 2018

රටේ කොඩිය යටින් ඒ රෑම්ප් එකේ ඇවිදගෙන යද්දි මේ තරඟය දිනනවාමයි කියන හැඟීම මට ආවා

 " රටේ කොඩිය යටින් ඒ රෑම්ප් එකේ ඇවිදගෙන යද්දි මේ තරඟය දිනනවාමයි කියන හැඟීම මට ආවා " 

      
      ඉතිං ඉසංක සතුටින්ද ඉන්නෙ ලබපු ජයග්‍රහණයත් එක්ක ?

    ඔව් ගොඩක් සතුටින් ඉන්නේ මේ දවස්වලනන්. මොකද මේ මගේ පළවෙනි අන්තර්ජාතික     ජයග්‍රහණය. ඒක නිසා මම වගේම මගේ වටේ ඉන්න හමෝම ගොඩක් සතුටින් ඉන්නෙ. 

කොහොමද ඒ තරඟ අත්දැකීම ?

ෆේස් ඔෆ් ඒෂියා තරඟය පැවැත්වුණේ දකුණු කොරියාවෙදී මීට දින කිහිපයකට පෙර. රටවල් විසි තුනක්. හිතාගන්න බැරිතරම් ලොකු අත්දැකීමක් ලැබුණා මේ තරඟයෙන්. ඒකට සුවිශේෂී හේතුවක් තමයි මේ තරඟය මගේ ප්‍රථම අන්තර්ජාතික අත්දැකීම වීම. ඒ වගේම අන්තර්ජාතික සමාගම් ගණනාවකින් අවස්ථා විශාල ප්‍රමාණයකට ඉදිරියේදී දායක වෙන්න මට මේ හරහා අවස්ථාව ලැබුණා. එකියන්න බැරිතරම් ලොකු අත්දැකීමක් ඒ හරහා මට උපයාගන්නට හැකියාව ලැබීම ගැන කියාගන්න බැරිතරම් ලොකු සතුටක් හිතේ තියෙනවා.

     Face of Asia 2018 නියෝජන අවස්ථාව ඔබට ලැබෙන්නේ කොහොමද

ෆේස් ඔෆ් ශ්‍රී ලංකා තරඟය Fair Way Colombo හොටෙල් එකේදී පසුගිය මාර්තු 25 වෙනිදා පැවැත්වුණා. මට මෙම නියෝජන අවස්ථාව ලැබෙන්නේ ඒ ෆේස් ඔෆ් ශ්‍රී ලංකා තරඟය ජයග්‍රහණය කිරීමත් එක්ක. 

නිරූපණ ක්ෂේත්‍රයට අවිල්ලා කෙටි කාලයක් තුළ ඔබ නියෝජනය කරන තරඟ සියල්ලේ ජයග්‍රහණය ඔබ සුරතට ගන්නවා. කොහොමද ඒ දේ දැනෙන්නේ ?

මම නිරූපන ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර එක හමාරක් වගේ වෙන්නේ. ඒ කෙටි කාලය තුළ නියෝජනය කළ තරඟ ජයග්‍රහණය කරන්න මට වාසනාව ලැබෙනවා. මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අන්තර විශ්ව විද්‍යාල නිරූපණ තරඟය ජයග්‍රහණය කිරීමත් එක්ක. ඉන්පසුව 2017 හිරු ටී.වී අවුරුදු කුමාරයා වෙන්නත් අවස්ථාව උදාවෙනවා. ඉන්පසුව මේ අවුරුද්දේදී ෆේස් ඔෆ් ශ්‍රී ලංකා වගේම ෆේස් ඔෆ් ඒෂියා තරඟය ජයගන්නත් මට වාසනාව හිමිවෙනවා. ඒක ඉතින් දක්ෂතාවය වගේම වාසනාවත් එක්ක වෙන දෙයක්.
  
     අනෙකුත් තරඟකරුවන් ඔබට අභියෝගයක් වුණේ නැද්ද ?

    ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මොකද ආසියාවක්ම නියෝජනය කරමින් රටවල් 23ක් මෙහි නියෝජනය කරා. ඒඅයගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. අපි වගේ පුංචි රටක තාම නිරූපණය ක්ෂේත්‍රය ඒ තරම්ම දියුණු නැහැ ඒ රටවල් එක්ක බලද්දී. ඒ කොහොම වුණත් මගේ රටේ කොඩිය යටින් ඒ රෑම්ප් එකේ ඇවිදගෙන යද්දි මේ තරඟය දිනනවාමයි කියන හැඟීම මට ආවා. ඒ වගේම මං ඒක කළා.

ජයග්‍රහණය සමරන්න ලංකාවෙ ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරය තුළ නොමැතිවීම කොහොමද දැණුනේ ?

ලංකාවෙන්නන් කවුරුත් ඇවිත් හිටියේ නැහැ බලන්න. වෙනත් රටවල් වලින් නම් කණ්ඩායම ඇවිත් හිටියා ඔවුන්ට සහයෝගය ලබා දෙන්න. ඒත් මගේ රටේ නොතිබුණ නිසා ඒක මට ලොකුවට දැණුනෙ නැහැ. ඒත් ජයග්‍රහණය සමරන්න ඔවුන් හිටියනන් කියන හැඟීම හිතේ පොඞ්ඩක් තිබුණා. රට වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් වීම ලොකු සතුටක්. 

විශ්වාසයක් තිබුණද ඔබට මේ තරඟය ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා ?

මුලින්නන් විශ්වාසයක් තිබුණේ නැහැ ජයග්‍රහණය ගැන. අවසාන පුහුණුවීමෙදි තමයි මම අපේ කොඩිය යටින් එන්නේ. ඒත් එක්ක ලොකු හැගීමක් ආවා දිනනවා කියලා. ඒ වෙලාවෙ තමයි ඒ ශක්තිය, විශ්වාසය ආවේ.

ඔබේ ජයග්‍රහණයේ මූලිකම හේතුව උස කියල කිව්වොත් ?

ඔව් ඒකත් එක හේතුවක්. ඒ වගේම රෑම්ප් එක උඩදී දක්වන දක්ෂතාවයත් ඒකට බලපානවා.

ඉසංකගෙ පවුල ගැන කිව්වොත්

මගේ පවුල අම්මයි, තාත්තයි, අයිය, මම ඉන්නේ. ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ අවසන් වසරේ. ඔහු මට වඩා අවුරුද්දක් වැඩිමල්. මේ හැමදෙයකටම මාව යොමුකරන්නෙ මගෙ අයියා. 

කොහොමද ඔබේ අධ්‍යාපන කටයුතුත් එක්ක හැමදෙයක්ම සමබරව කරගෙන යන්නේ?

මම දැනට කැළණිය විශ්ව විද්‍යාලයේ තමයි අධ්‍යාපනය හදාරන්නේ. ඒ හැමදෙයක්ම පිළිවෙලට කරගෙන යනවා. ඒ හින්දා දැනටනන් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. විභාග කාලෙදි අධ්‍යාපනයට තමයි මුල් තැන දෙන්නේ. එහෙම තමයි ඉතිං.

ඉදිරි බලාපොරොත්තු ?

මට දෙනට තියෙන ලොකුම බලාපොරොත්තුව Mr Sri Lanka 2020 තරඟය සඳහා සහභාගී වෙන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා වගේම දැනට භාරගෙන තියෙනවා වෙළඳ දැන්වීම් කිහිපයක්. ඒව තමයි  දැනට තියෙන ඉදිරි වැඩ.

ඔබේ බලාපොරොත්තුව රැකියාව විදියට නිරූපණය තෝරගන්නද

මුලින්ම මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරගන්න ඕනේ. ඒ ඔස්සේ රැකියාවක් හොයාගෙන ඒත් එක්කම නිරූපණය කරන්න තමයි දැනටනන් හිතේ අදහස තියෙන්නේ. බලමු නේද ?

මේ දුර ඔබට එන්නට ඔබ පසුපසින් හිටිය අය මතක් කළොත් ?

මුලින්ම මගේ අම්ම, තාත්තා, අයියා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. ඒ වගේම මගෙ විශ්ව විද්‍යාලයේ මගේ යාලුවෝ, ඔවුන් තමයි මට හැමදේකටම ඉන්නේ. ඒ වගේම මිස්ට බ්‍රයන්, ප්‍රසාද් හේවගමගේ ගුරුතුමා, ගිහාන් දසනායක මහතාත් මතක් කරන්න ඕන. ඔවුන් නැත්නන් මම අද මෙතන නැහැ. කැළණිය විශ්ව විද්‍යාලයෙනුත්, Future Marketing Association එකෙනුත් මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේම මං වෙනුවෙන් අනුග්‍රහ දක්වපු හැමකෙනෙක්ටමත් ගොඩක් ස්තූතීයි.

                                                               
" මා භරණ "

No comments:

Post a Comment