Friday, June 8, 2018

ඔබ නිසයි මේ හැමදෙයක්ම. නොවරදවාම එන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.


   


      “ඔහු කලාව තුළ දැවැන්තයෙක්. වේදිකාවට සේම රූපවාහිනියට, සිනමාවට අබබිභවනීය මෙහෙවරක නියැලෙන උත්තුංග ඇදුරෙක්. සිය කලාවෙන් සුවහසක් විද්‍යාර්ථීන්ගේ නෙත් පාද ඔහු වේදිකාවට විත් වසර තිහකටත් වෑඩියි. ඔහු නමින් ප්‍රියංකර රත්නායකයන්. යුග තුනක් වේදිකාවේ විස්කම් පෑ එතුමන්ගේ ප්‍රත්‍යාවලෝකන නාට්‍ය දැක්ම සුවහසක් වේදිකා රසිකයන්ගේ නෙත්මානයට ගෙනෙන්නට ඔහු සූදානම්. දිවා රෑ ඔහු මේ දිනවල තම දහඩිය වගුරන්නේ ඒ වෙනුවෙන්. එකී උත්කෘෂ්ට කාර්යය ගැනයි මේ ඔහුගේ සටහන ...”

වැඬේ ගැන පොඩි සඳහනක් කළොත් ?

මෙහෙමයි මම දැන් වසර තිහක් තිස් පහක් විතර ඉඳන් නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදියටත්, රංගන ශිල්පියෙක් විදියටත්, විශ්ව විද්‍යාලයේ වසර පහළවක වගෙ ඉඳන් නාට්‍ය හා රංග කලා ආචාර්යවරයෙක් විදියටත් වැඩ කරගෙන යනවා. පසුගිය වසර විසි පහ දිහා හැරිල බැලුවම මම වැඩිපුර රැදුණේ නාට්‍ය ක්ෂේත්‍රයේ. ඒක ගොඩක් අමාරු වැඩක්. සිනමා පටයක්, ටෙලිනාට්‍යක් විකාශනය වනතෙක් විතරයි වැඩ තියෙන්නේ. නමුත් නාට්‍යය තුළ එහෙම නෑ. කොහොම වුනත් එහෙම නාට්‍ය තුළ දීර්ඝ කාලීනව රැඳී ඉන්න කෙනෙකුට හිතෙන දෙයක් තමයි ස්වකීය නිර්මාණයන් එකතු කරලා අලුත් පරම්පරාවට ඒ දේවල් දැකගන්න, අධ්‍යනය කරන්නන්ට ඒ දේට වැඩක් සලස්වන එක. අන්න ඒ හිතීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මම කරපු නිර්මාණයන් එකතු කරලා නාට්‍ය උත්සවයක් පවත්වන්න හිතුවේ.

මීට කලිනුත් ඔබ මෙවන් නාට්‍ය උළෙලක් කරා නේද ?

ඔව් මීට වසර 05කට වගේ කලිනුත් මෙහෙම මං නිෂ්පාදනය කරපු නාට්‍ය උළෙලක් කරා. ඒකෙදි පෙන්නුවෙ ග්‍රීක නාට්‍ය තුනක්. විශේෂයෙන්ම නාට්‍ය, චිත්‍රපට කරන අය වුනත් කැමතියි තමන්ගෙ කියල උළෙලක් පවත්වන්න. මං හිතන්නෙ ඒ වගේ දෙයකින් තමන් පහුගිය අවුරුදු ගණනාව තුළ කරපු දේවල් ගැන තමනුත්, සමාජයත් නැවත හැරී බලන්නට පොළඹවන එක. ඒක තමයි මෙවන් නාට්‍ය උත්සවයක කරන එකේ මූලික අරමුණ.

කවදද ? කොතනද තියෙන්නේ කියල කිව්වොත් ?

නාට්‍ය උළෙල ජුනි මාසෙ 07, 08, 09, 10 කියන දවස් හතරෙම සවස 07.00 ට ලයනල් වෙන්ට් රඟහලේදී පැවැත්වෙනවා. ප්‍රේක්ෂකයාට සමීප නාට්‍ය වගේම රසිකයාට සමීප නාට්‍ය වගේම නාට්‍ය කලාව හදාරන අයටත් ඉතාමත් වැදගත් නාට්‍ය වශයෙන් ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් අද  මේ වගේ නාට්‍යක් නිෂ්පාදනය කරලා තියාගෙන ඉන්න එකත් අමාරු වැඩක්. ඒ වගේ දෙයල් බලන්නට ඔබට අවස්ථාව ලැබීමත් වාසනාවක්.




වේදිකා ගතවන නාට්‍යයන් මොනවද ?

ජුනි මාසෙ 07 වෙනිදා තියෙන්නේ විසේකාරියෝ කියන නාට්‍යය. ජුනි 08 වේදිකා ගතවෙන්නේ අද වගේ දවසක ඇන්ටිගනී නාට්‍යය. ජුනි මාසෙ 09 වෙනිදා වේදිකාගත වෙන්නේ ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යය.  ජුනි මාසෙ 10 වෙනිදා වේදිකාගත වෙන්නේ අසිනමාලී   ”නාට්‍ය. මේ සංකල්ප සියල්ලම අපිට අපේ සමාජයට ඉතාම සමීප තේමාවන්. ඒ නිසා ඔබ නැරඹීම අතා සුදුසුයි කියලා හිතනවා.

එකම තේමාවකින් යුතු නාට්‍යයන් තෝරාගන්න හේතුව පවතින සහ පැවති දේශපාලන ක්‍රමයන්ට ඒවා සමීප නිසාද ?

නෑ ඒක නෙවෙයි එකම හේතුව. අපි දෙනුවත්ව හෝ නොදැනුවත්ව එකම තේමාවකට නාට්‍යයන් තේරුනේ අපිට අපේ සමාජයට ඒ සංකල්පයන්ගෙ තියෙන සමීපකමත් එක්ක. නාට්‍ය පෙළගස්වනකොට තමයි තේරුනේ අපි නොදැනුවත්වම හරි යුද්ධය සහ පශ්චාත් යුද්ධයට සම්බන්ධ නාට්‍ය 04 ක් කියලා. මේ නාට්‍යය හතරෙම කතාකරන්නේ යුද්ධය කියන දෙය මිනිස්සුන්ගෙ ආදරයට, සමාජයට මේ වගේ හැමදේටම බලපාන්නෙ කොහොමද කියන එක. 

මේ නාට්‍යය සඳහා රංගනයෙන් දායකත්වය සපයන රංගන ශිල්පීන් ?

ඔව් මේ නාට්‍යය සඳහා ඉතා දක්ෂ රංගන ශිල්පීන් රැසකගේ දායකත්වය ලැබෙනවා. ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, හංසමාලා ජානකී වගේ අපේම සමකාලීනයන් වගේම අපිට ඉස්සෙල්ලා වේදිකාවට ආපු දීපානි සිල්වා වගේ අයත් මේ සඳහා දායකත්වය ලබාදෙනවා. අපි විශ්ව විද්‍යාලයට උගන්වන්න ආවට පස්සෙ අපිට මුණ ගැහුණු ඉතාමත් දක්ෂ වේදිකා නාට්‍යය රංගන ශිල්පීන් තමයි තුමිදු දොඩන්තැන්න, ප්‍රසාදිනී අතපත්තු, සමාධි ලක්සිරි, කෞෂල්‍යා මෙන්ඩිස්  වැනි ඒ පරම්පරාවෙ අයත් ඉන්නවා. මෑතකාලීනව විශ්ව විද්‍යාලයෙන් පිටවුණු සහ දැනට අධ්‍යාපනය හදරන අයත් මේ සඳහා දායකත්වය ලබාදෙනවා. 

මෙවැනි දෙයක් කරන්න හිතුණේ ඔබට කාගෙ හරි යෝජනාවක් නිසාද ?

නැහැ එහෙම කවුරුත් මට යෝජනා කළේ නැහැ මෙහෙම දෙයක් කරන්න කියලා. අපිත් එක්ක එකට ඉන්න යම් යම් අය නොයෙකුත් අවස්ථාවවල යෝජනා කරලා තියනවා. නමුත් ආයතනයකින් හරි අනුග්‍රහාකයෙක්ගෙන් හරි එහෙම යෝජනාවක් ඇවිල්ලා නැ. එහෙම බරබතල දේවල් යෝජනා කරන ආයතන අපේ රටේ නෑ. අපිට අපි දිහාම හැරිල බලන්න තියෙන ආසාව නිසාම තමයි මෙහෙම දේවල් අපි කරන්නේ.

මේ දෙ කරන්න පරක්කු වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද ?

ප්‍රමාද නම් වුණා වැඩියි කියලත් හිතෙනවා වෙලාවකට. නමුත් කාලය තමයි හැමදේම විසදන්නේ. කාලයම පෙරට විත් සියලු පැන විසඳාවි කියල ඇන්ටිගනී නාට්‍යයෙත් තියනවා. නමුත් අනෙක් අය දිහා බලද්දි මම ප්‍රමාද වැඩියි කියල මට හිතෙන්නේ නැහැ.

පවතින දේශපාලන ක්‍රමය ගැන ඔබේ අදහස මේ නාට්‍යය තුළින් ඔබ කියනවා නේද ?

සැබවින්ම ඔව්. කලාව ආත්ම ප්‍රකාශන මාධ්‍යයක් නිසා ඒ කලාකරුවාගේ වගකීම මම මේ නාට්‍යය තුළින් පෙන්වීමට මම උත්සාහ කරනවා. ඒ තුළින් මගේ පවතින දේශපාලන පිළිබඳව මගේ අදහස ඉදිරිපත් කරනවා. ඒක කලාකෘතියක් තිළින් ප්‍රකාශකරන්න හැමෝට ලැබෙන්නේ නැහැ. පරිවර්තන වුණාට මේවා අද සමාජයට ඉතාමත්ම සමීප නාට්‍යය. 

අවසන් වශයෙන් වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂකයාට කියන්න තියෙන්නේ ?

කියන්න තියෙන්නෙ ඉතිං ජුනි මාසෙ 6, 7, 8, 9 කියන දවස්වල අනිවාරෙන් එන්න සවස 07.00 ට ලයනල් වෙන්ට් රඟහලට. ඔබ නිසයි මේ හැමදෙයක්ම. නොවරදවාම එන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.    

  ප්‍රසංග මාභරණ



  
   


No comments:

Post a Comment