Monday, November 5, 2018

මහසුපින

නොවැම්බර් මස 16 දා  

ප.ව 06.00 ට නෙළුම් පොකුණ රඟහලේදි.. 
ප‍්‍රවේශපත්; https://www.mytickets.lk/event/mahaa-supina/330 

 
වියත් බව ආභරණයක් කර නොගත් ඔහුගෙන් ලාංකීය කලා ක්ෂේත‍්‍රයට ලැබුණු සහ දැනටමත් ලැබෙන දායකත්වය අතිමහත්. මහසමයම නාට්‍යය වේදිකාගත වීමෙන් අනතුරුව ඔහු තුළ සිටින අපූර්ව නිර්මාණකරුවා කවුරුන්ද යන්න මුලූ මහත් ලෝකයකට වැටහුණු කාරණාවක්. මහ සමයමට පෙම් බැන්ද ඔබට ඒ හා  සමානම අත්දැකීමකට මුහුණදෙන්න අනගි අවස්ථාවක් තවත් දින කිහිපයකින් ඔබ වෙතට ලඟා වෙනවා. ඒ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ නවතම වේදිකා නාට්‍යය ‘‘මහාසුපින’’ තවත් දින කිහිපයකින් වේදිකාගත වන්නට සූදානම්. එය ලාංකීය වේදිකා නාට්‍යය ඉතිහාසයේ සොඳුරුතම සංධිස්ථානයක් වනවා නොඅනුමානයි. මේ සතියේ කතාබහ මහසුපින නාට්‍යයේ නිර්මාතෘ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් සමග .... 
මහසුපින ගැන යම් සඳහනක් කළොත් ?

මහසුපින කියන්නෙ විශ්වවිද්‍යාලයේ අලූත්ම ව්‍යාපෘතියක්. ඒක ඉගෙනුම් ඉගැන්නුම් සහ නිර්මාණාත්මක ක‍්‍රියාවලියක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සම්මත පංති කාමර ඉගැන්වීම් ක‍්‍රමය ඉක්මවල නිර්මාණාත්මක අධ්‍යයනය ලබලා දෙන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කිරීම. ඒකෙදි ළමයගෙ චින්තන ශක්තිය, අවබෝධය, ආතතිය, නව උත්පාදන ශක්තිය වැනි මේ හැමදෙයක්ම විශ්වාස කරනවා. නමුත් පංති කාමර අධ්‍යාපන ක‍්‍රමය තුළ ඒ දේ වෙන්නේ නැහැ. තමන්ටම හිතන්න පුලූවන්, නිර්මාණය කරන්න පුළුවන්, තමන්ටම අදහසක් ගොඩනගාගන්න පුලූවන් පුරවැසියෙකු බිහිකිරීම තමයි මේකෙ මූලික අරමුණ වෙන්නේ.  

මහසුපින නිර්මාණ මූල බීජය ඔබේ සිත් තුළ රෝපණය වෙන්නෙ කොහොමද ?

අදහස එන්නෙ කිසියම් හේතු ගණනාවක්ම බලපෑවා. එහිදි මහසුපින කියන ජාතකය මීට දශක දෙකක කාලයක පටන් ආසියානු සමාජය තුළ සහ ශ‍්‍රී ලංකාව වගේ රටවල වැඩියෙන් සාකච්ඡුා වුණ මාතෘකාවක්. මීට වසර 2500කට පෙර බුදුන් වහන්සේගේ ජාතක කතාවක එන මේ පුවත තුළ කතාවෙන්නේ වසර දෙදහස් පන්සියයකට මෙහා ජනතාවගේ සිතුම් පැතුම් සහ ඇවතුම් පැවතුම් ගැන. එතකොට මේ කතාපුවත ඉතාමත් නිර්මාණශීලී කතාපුවතක් ලෙසටයි මා දකින්නේ. හුදු මේක ජාතක කතාවක්ම පමණක්ම නෙවෙයි මේක. සමස්ත මිනිසා පිළිබදව සහ මේ මොහොතේ තියෙන සමාජ, දේශපාලන, ආර්ථික හැඩතලයන් මනාව ගැබ් වුණු ජාතක කතාවක්. මට හිතුණා ඒක විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට වඩා හොඳයි කියලා. ඒ නිසා තමයි එක තෝරගන්නේ. අනිත් කාරණාව ඉන්දියාව, බුරුමය, චීනය කියන රටවල නිර්මාණයන්ට මේ ජාතක කතාවේ තියෙන අර්ථවල ආබාසය ලබලා තිබීමත් ගන්න පුලූවන්. කොහොම වුණත් මේක ජාතක කතාවක්. මේකෙ සිහින තියෙන්නේ. මේකෙ සම්මත චරිත නැහැ. හැමදෙයක්ම සංකේතාත්මක විදියට තමයි මම භාවිතා කරලා තියෙනේ. මේ සියලූ කරුණු තමයි මේ ජාතක කතාව තෝරාගන්න හේතුව.

මහසුපින කණ්ඩායම ගැන යමක් කිව්වොත් ?

විශ්වවිද්‍යාල කණ්ඩායම තමයි ප‍්‍රධාන වෙන්නේ. සියලූ රංගනයෙන්, ගායනයෙන්, පසුතල, වේෂ නිරූපණ, ඇඳුම්, වේදිකා පරිපාලනය වගේ මේ හැමදෙයක්ම කරන්නෙ ඔවුන්. ඒ වගේම බාහිර නිර්මාණකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. නිශ්ශංක ධිද්දෙනිය, බුද්ධදාස විතානාරච්චි, සාරංග දිසාසේකර, අකිල ධනුද්ධර, මාධිනී මල්වත්ත, සුලෝචනා වීරසිංහ, ජනක රණසිංහ, රංගන කාර්යයෙනුත් රවිබන්දු විද්‍යාපති තමයි නර්තන වින්‍යාසය. තරුපති මුණසිංහ තමයි සංගීතය. වේදිකා පරිපාලනය උපාලි ආරියසිරි. මේ වගේ විවිධ අත්දැකීම් විශ්වවිද්‍යාලයක ළමයෙකුට ලැබෙන්නේ පළමු වතාවට. ඒකට ස්තූතිවන්ත වෙන්න  ඕන වත්මන් උපකුලපති තුමාට. විශාල සහයෝගයක් ඔහු අපට දීල තියනවා. එහම නොවුණ නම් අපිට මේක කරන්න බැහැ. 
        
මහසමයම නාට්‍යයත් මේ වගේම දැවැන්ත නිර්මාණයක්. මහසුපින කොහොමද මහ සමයමෙන් වෙනස්වෙන්නේ ?

මහසමයම ශෛලිගත සම්ප‍්‍රදායට අයත් නාට්‍යයක්. මහසුපින සාමාන්‍යයෙන් නාට්‍ය මූලධර්මයන් එක්ක තමයි යන්නේ. ස්වභාවික දෙබස් සහ ස්වභාවික රංග රීතීන් මෙහි තියෙනවා. ඒ වගේ නව තාක්ෂණික ප‍්‍රයෝග නව අලංකාරික දේවල් භාවිත වෙනවා. වීඩියෝ මැපින් වගේ දේවල් ලංකාවෙ වේදිකා නාට්‍යයට භාවිතා වෙන්නේ පළමු වතාවට. නෙළුම් පොකුණ වගේ වේදිකාවල අත්දැකීම් විශ්වවිද්‍යාල ප‍්‍රජාව දැනගන්න  ඕන නිසාම තමයි මේ සඳහා නෙළුම් පොකුණ තෝරගන්නෙත්.
   
මහසමයම නැවත ප‍්‍රදර්ශනය නොකර මහසුපිනට අතගහන්න හේතුව ?

මහසමයම ආයිමත් කරන්න කැමැතියි. ඒත් ඒකට මූල්‍යමය දායකත්වයක් අවශ්‍යයි. මොකද ඒක මට තනියම ගොඩනගන්න බැහැ. ඒකට යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න  ඕන. එහෙම තැනකදි ඒක ආරම්භ කරන්න පුලූවන්. මේක කරන්නෙ තවත් අත්දැකීමක් ලබාගත යුතු නිසා. මේකත් හැබැයි සාමාන්‍ය නැහැ. මම කැමති නැහැ නාට්‍ය තැනින් තැන ගෙනියන සම්ප‍්‍රදායට. නෙළුම් පොකුණ වගේ තැනකට ඇවිල්ල නාට්‍යයක් රසවිඳිනව කියන එකේ ලොකු වෙනසක් තියනවා. කොහොම වුනත් අපි අමාරුවෙන් හරි මේ වගේ අත්දැකීම් ලබාගන්න  ඕන.

මහසුපින නාට්‍යය වේදිකාගත කිරීම ගැන යමක් කිව්වොත් ?

නොවැම්බර් මස 16 වෙනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමාගේ ප‍්‍රධානත්වයෙන් ප.ව 06.00 ට නෙළුම් පොකුණ රඟහලේදි නාට්‍යය වේදිකාගත වෙනවා. ප‍්‍රවේශපත් ලබාගන්න පුලූවන් MyTikets.lk හරහා. මේකෙදි වෙනස තියෙන්නේ නෙළුම් පොකුණේ පෙන්නුවට අපි නාට්‍ය ප‍්‍රවේශපත් සාමාන්‍ය වේදිකා නාට්‍ය මිල ගණන් වලටම තමයි අලෙවි කරන්නේ. මිල ගැන වෙන සංදර්ශන වල වගේ බිය විය යුතු නැහැ. ඔබ අපේක්ෂා කරන මුදලට ප‍්‍රවේශපත‍්‍ර තිබෙනවා.
    
නෙළුම් පොකුණෙ වේදිකාගත කිරීමෙන් පසුව මහ සුපිනට මොකද වෙන්නේ ?

ඇත්තටම කියනව නම් අනාගතයක් නැහැ මහසුපිනට. ඒක අපේරටේ අනාගතය වගේ තමයි. නාට්‍ය ගැන ජාතික වැඩපිළිවෙළක් නැති රටක තනි පුද්ගලයෙකුට කලාව කරන්න අමරුයි. මේක කරන්නේ විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන්. මින් පසුව තව කෙනෙක්ගේ සහයෝගයක් ලැබුණොතින් පමණයි මේ දේ කරගෙන යන්න පුළුවන්. 

 ඒ කියන්නෙ මහසමයමට වුණු දේම මහසුපිනටත් වෙනව කියලද ?

මම හිතනවා ඊටත් වඩා ඛේදවාචකයකට මුහුණදෙන්න වෙයි. මහසමයම මම දහවතාවක් පෙන්නුවා. නමුත් මහ සුපින දහවතාවත් කරයිද කියලා සැක සහිතයි.

පැවති පාලන ක‍්‍රමයට යම්කිසි පහර ගැසීමකුත් මහ සුපින හරහා සිදුවනවා නේද ?

සාමාන්‍යයෙන් පහර ගැසීමේ කලාව මම කොහෙත්ම භාවිතාකරන්නේ නැහැ. මිනිස්සුන්ට තවදුරටත් හිතන්න දෙයක් දෙන එක තමයි මම මේකෙන් කරන්නේ. මේක තමයි හරිම දේ කියල මට කියන්න බැහැ. කාගෙන් හෝ මේ ගැන දාර්ශනික අදහසක් ලැබුණොතින් ඒ දේ පමණක් මම භාරගන්නවා. 

අවසාන වශයෙන් පේ‍්‍රක්ෂකයන්ට මොකද කියන්න තියෙන්නේ ?

මහසුපින හරහා අතිවිශාල ආදරක් එකතු වුණා අප වටා. ලෝකෙ නාට්‍ය කලාව එක්ක ලංකාවෙ නාට්‍ය කලාව කොතනද තියෙන්නෙ කියන දේ බලන්න නම් එන්න මහසුපින බලන්න. ලංකාවේ නාට්‍ය කලාව ලෝකෙ කොතෙක් දුරට අරගෙන යන්න පුලූවන්ද කියන එක ඔබට මහසුපින හරහ දැකගන්න පුලූවන්. ඔබ වේදිකාවෙන් ලබන ඉහලම වින්දනය මහසුපින නැරඹීමම වෙන්න පුලූවන්. ඒ රංග කාර්ය නරඹන්නට ඔබ සැමට මේක තමයි හොඳම අවස්ථාව.


                                                    



                                                   


මා භරණ

Saturday, August 4, 2018

හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ ..



                                
''වසන් වන සඳ වලාකුළකට  හඩා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ ....
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ ....''


මේ ගීතය ඔබ මේ දවස්වල අහන ගීතය වෙන්න  ඕන. බලන බලන ඇහෙන එහෙන හැම තැනකම හැම කෙනාම මුමුනන්නේ මේ ගීතයේ අවසන් පද පේලිය. ඒ වගේම වික්ටර් රත්නායකයන්ගේ සහ සංඛ දිනෙත්ගේ හඬෙහි සුසංයෝජනය ඒ ගීතයේ රසවත් බව තව තවත් වැඩි කළා සේ යි. සංඛගෙ රූපය පිටුවෙ පැත්තක දකිද්දි මම දන්නවා ඔබ හොයන්නෙ මේ ගීතයේ වගතුග කියලා. ඒ ගැන සංඛ කියන්නෙ මොකද්ද කියලා ඔබම සංඛගෙන් අහන්න. මම ඔබට බාධා කරන්නෙ නැහැ. මේ සංඛ දිනෙත් ...

සංඛ කොහොමද අලූත් ගීතයට ලැබෙන ප‍්‍රතිචාර ?

තාම දවස් කිහිපයයි වෙන්නෙ සිංදුව රිලීස් කරලා. අතිශය ඉහළින් ප‍්‍රතිචාර ලැබෙනවා. සාමාන්‍යයෙන් 2012 ඉඳන් රිලීස් කරපු මගේ හැම ගීතයකට වගේ ඉහළ ප‍්‍රතිචාරයක්, වටිනාකමක් වගේම ඉහළ ඇගයීමක් ලැබිලා තියනවා. ඒක මම දන්නේ නෑ මොකද හේතුව කියලා. මොකද්දෝ වාසනාවක් ඇති මට ඒකට. ගොඩක් අය කියනවා ගීතය අහද්දි ඇෙඟ් හිරිගඩු පිපුණා කියලා. සතුටුයි මේ වගේ වාතාවරණයක් තියන වෙලාවක, මිනිස්සුන්ට හරියට කන්න බොන්නවත් නැතුව ඉන්න වෙලාවක මගේ ගීතයකින් ඔවුන්ගේ හිතට සහනයක් ගෙන්න පුලූවන් වෙච්ච එක ගැන.


මේ වටිනාකමේ වැඩි අයිතිය වික්ටර් රත්නායකයන්ට කිව්වොත් ?

ඔව් ඇත්තෙන්ම ඒක තමයි ඇත්ත. එතුමන් අපේ රටේ දැනට ජීවත්ව සිටින සංගීත ප‍්‍රතිමූර්තිය විදියටයි මම එතුමන් දකින්නේ. එතුමන් එක්ක මේ ගීතය මම ගායනය ගැන මිනිස්සු එක එක විදියට ගළපගෙන තියනවා. කොහොම වුණත් එතුමන් නිසා තමයි මේ ගීතයේ වටිනාකම මේ තරම් වැඩිවෙන්නේ.

මේ තරම් ලංකාවේ ප‍්‍රවීන ගායකයන් සිටියදී ඔබ එතුමන්ව ගන්න හේතුව ?

මීට අවුරුදු දෙකකට කලින් දිල්ෂාන් පතිරත්න නිකුත් කළා කලියුගයේ කුමාරයා කියලා කවි පොතක්. ඒ උත්සවයට මාත් යනවා. ඒ පොතේ මම දකිනවා හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ කියන වචන ටික. ගීතය රචනයේ අයිතිය දිල්ෂාන් පතිරත්නට දිය යුතුයි. ඒකෙන් මට හිතුනා යම්කිසි සංගීතමය ප‍්‍රකාශනයක් මට හදාගන්න පුලූවන් කියලා. පසුකාලීනව මගෙ අතින් ඒ තනුව නිපදවෙනවා. පස්සෙදි මම මේ තනුවට පොඩි ගායනයක් කරලා බලද්දි ඒ සංගීතමය කොටස් අතරේ මට දැනෙන්නේ වික්ටර් 
රත්නායකයන්ගේ හඬ. ඒ හින්දා මම එතුමන්ට ආරාධනා කරනවා. එතුමගෙ ප‍්‍රසිද්ධිය මට ඒකට අදාලත්වයක් වුණේ නැහැ.

එතුමන් අකමැත්තක් පෙන්නුවෙ නැද්ද ?

මම කලින් එතුමන්ට කතාකරලවත් තිබුණේ නැහැ. සමිතා මුදුන්කොටුව මහත්මියගෙන් තමයි මම එතුමගෙ නම්බර් එක ඉල්ලගන්නේ. එතුමට මම කතාකරලා විස්තරේ කිව්වම එතුමන් එනවා මගේ ශබ්දාගරයට. මම ඩමි එක හදපු ගීතය එතුමන් අහලා ගීතය ගායනා කරන්න කැමති වෙනවා. එතුමන් මීට කලින් පිරිමි යුගල ගීතයකට ගායනා කරලා තියෙන්නේ අමරදේව මාස්ටර් එක්ක සහ සිසිර සේනාරත්න එක්ක විතරයි. ඉන් පස්සෙ තමයි මාත් එක්ක මේ ගීතය ගායනා කරන්නේ.

ගීතය ගායනයෙන් අනතුරුව ගීතය ගැන වික්ටර් රත්නායකයන්ගේ අදහස ?

මම එතුමන්ව කියවලා තියන විදියට එතුමන් හැමදෙයක්ම සම සිතින් භාරගන්න කෙනෙක්. ගීතයට ආරාධනා කරපු අවස්ථාවේ වගේම එතුමන් ගීතය ගායනයෙන් පස්සෙත් මේක මාරයි කියලා බොරුවට කිව්වෙ නෑ. එතුමන් ගීතය ගායනා කරලා අවසානෙදි උපේක්ෂා සහගතව මගෙන් ඇහුවේ හොඳයි නේද සංඛ සිංදුව කියලා විතරයි. ඒක මාර ලොකු දෙයක්. එතුමන් මහා ගංගාවක් නම් මම පුංචි පැලයක් විතරයි. ලොකු ගංගාවක් පුංචි පැලයක් ලඟ නතර වුණාම ඒක ටිකක් විස්තර කරන්න අමාරු කතාවක්.

මේ ගීතයට වීඩියෝවක් කවද වගේද අපිට බලන්න පුලූවන් ?

නැහැ මම හිතන්නෙ නැහැ මේ ගීතයට මම වීඩියෝ එකක් කරයි කියලා. මේ ටෙ‍්‍රන්ඞ්ස් ඔක්කොම කඩන්න  ඕන කියන තැන තමයි මම ඉන්නේ. වීඩියෝ එකක් එනව කියන්නෙ මිනිස්සු සිංදු අහන්නේ නැහැ. බලනවා විතරයි. මේ ගීතය අපි අහන්න තියමු. මිනිස්සුන්ට සිංදු අහන තැනට ගේන්න තමයි මගේ මේ උත්සාහය.

සංගීතයේ වෙනස්ම මානයන් හොයාගෙන යන එක සංඛගේ අනන්‍යතාවයද ?

ඒක මම දකින විදියට මම මේ කරන්නේ මගේ ඇරියස් කවර් කරගන්න එක කියලයි මට හිතෙන්නේ. මේ හැම දෙයක්ම පොඩි කාලෙ මගේ හිතේ තිබුණ හීන. ඒවා එකින් එක හැබෑවෙනවා දැන්. මට මේ හැමදෙයක්ම මාර මැජික්. වික්ටර් සර් එක්ක සිංදුවක් කියන එක. කසුන් කල්හාර එක්ක එකට ස්ටේජ් එකේ හිටගන්න එක. ඉන්දියාවෙ ලොකුම ගායකයෝ මගේ සිංදු ගායනා කරන එක. අපි වගේ හත්මුතු පරම්පරාවක ගායකයෙක් නැති පොඩි මිනිස්සුන්ට මේව මැජික් වගේ. ඒ හැමදේකට හේතුත් තියනවා.

සංඛගෙ ඊළඟ වෙනස මොනවගේ එකක් වෙයිද ?

තව ගොඩක් දේවල් ඉදිරියේදී වෙන්න නියමිතයි. මම කටින් බතල හිටවනවට වඩා හොඳයි ඒ දේවල් කරල පෙන්නුවම. මගෙ අම්මත් මට කියලා තියෙන්නෙ එහෙම. ඒ නිසා ඒ ක‍්‍රමය මම අනුගමනය කරනවා. කොහොමහරි මම මගේ රටේ කොඩිය දවසක ලෝකෙට අරන් යනවා මට පුලූවන් විදියට.

මාධ්‍ය ඉදිරියට සංඛ වැඩිය නො එන්න හේතුව ?

ඒක මෙහෙමයි. අපිට මාධ්‍යයෙන්වත් මේ වෙද්දි හරියට සහයෝගයක් නෑනේ. කොයි තරම් දක්ෂයන් හිටියත් ජෝකර්ලනේ දැන් මාකට් කරන්නේ. වෙනරටවලත් ජෝකර්ලා මාකට් වෙනවා එක්තරා ප‍්‍රමාණයකට. නමුත් ලංකාවේ අපේ ප‍්‍රවීනයන්ට වඩා ජෝකර්ලා මාකට් කරන එක මාධ්‍යය කරනවා. ඒකට වගකියන්න  ඕන මාධ්‍ය ආයතන. ඔවුන් මතක් කරගත යුතුයි අපි ආවා වගේ අපේ පිටිපස්සෙන් තවත් දක්ෂයන් බොහෝ පිරිසක් එනවා කියන එක.

පේ‍්‍රක්ෂකයන්ගෙන් සංඛට තියෙන ප‍්‍රතිචාර ?

මගේ වටේ ලොකු කල්ලියක් ඉන්නවා. මට ආදරය කරන කල්ෂ සංඛ්‍යාත පේ‍්‍රක්ෂක පිරිසකුත් ඉන්නවා. මගෙ හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ රසිකයන්ට මගේ පස්සෙන් ඉන්නවට. එයාල නැත්නන් මම අද සංගීතය අතෑරලා වෙන රස්සාවක් කරනවා. සල්ලි හොයන කලාකරයෙක් හැදෙනවා වෙනුවට සංගීතය හදන කලාකාරයෙක් හදන්න උදව් කලාට ගොඩක් ස්තූතියි මගේ රසිකයන්ට. ඒ වගේම මතක් කළ යුතුයි. අගෝස්තු 11 වෙනිදා වික්ටර් රත්නායකයන්ගේ සරස ප‍්‍රසංගය තියෙනවා. නුවර තමයි තියෙන්නේ. මගේ ආදරණීය රසික රසිකාවියන්ට ආදරෙන් ආරාධනා කරනවා බලන්න එන්න කියලා.
   

 



  
   

Friday, August 3, 2018

ආචාරධර්ම බිහිවීම හා ව්‍යාප්තිය


                                            
                                         


 මානව සංහතියේ ආරම්භයේ පටන් මිනිසා ක‍්‍රමයෙන් ශිෂ්ටසම්පන්න සමාජයක් බවට පරිවර්තනය වීම දක්වා ආචාරධර්ම ප‍්‍රබල භූමිකාවක් නිරූපණය කර ඇති බව හඳුනාගත හැකිය. සංස්කෘතිය වැදගත් අංගයක් වශයෙන් හඳුනාගෙන ආචාරධර්ම සාමාජීය පැවැත්ම ස්ථාවර අන්දමින් පවත්වා ගෙන යාමට ඉවහල් වෙයි. සාරධර්මවල ප‍්‍රභවය සිදු වූයේ බොහෝ කලකට පෙර බව මූලාශ‍්‍ර විමසීමේ දී තහවුරු වේ.

                             ආචාරධර්ම සඳහා මානව සංහතිය ආරම්භය දක්වා දිවයන දිගු ඉතිහාසයක් පවතී. ගෝත‍්‍රික මිනිසා ක‍්‍රමයෙන් ශිෂ්ට සම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාර ධර්ම තුළින් ඔහු මෙහෙයවනු ලැබූ නිසා ය. මේ සඳහා ආදී ගෝත‍්‍රික සමාජ වල නොයෙකුත් ඇදහිලි වත්පිළිවෙත් හේතුවන්නට ඇත. මේ අන්දමින් බිහිවූ ආචාරධර්ම ක‍්‍රමයෙන් සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික යනාදී ක්ෂේත‍්‍ර කෙරෙහි බලාත්මක වන්නට විය. ” ආචාර්ධර්ම ” යන සිංහල වචනය හැඳින්වීම සඳහා ඉංග‍්‍රීසි භාෂාවේදී ” ETHICS ” යන යෙදුම භාවිතා කරයි. එහි නිරුක්තිය සිදුව ඇත්තේ ” ETHOS ” යන ග‍්‍රීක වචනයෙන් ය. ඊතෝස් යන  ග‍්‍රීක වචනය වචනය භාවිතා වී ඇත්තේ ” චරිතය ” යන අර්ථයෙනි.

                             මිනිස් චරිතය පිළිබඳව සිදු කෙරෙන විග‍්‍රහයකදී හොඳ චර්යා නරක චාරිකා යනාදී වූ ඇලීම් ස්වභාව මත ආචාරධර්ම ඇගයුම්ශීලී ක‍්‍රියාවලියක් මත පදනම් වෙමිනි. එම නිසා ආචාර ධර්ම යනු හොඳ-නරක, හරි-වැරදි වැනි ඇගයුම්ශීලී ක‍්‍රියාවලියක් මත පදනම් වෙමින් එම නිසා ආචාරධර්ම යනු හොඳ නරක හරි වැරදි යන සංකල්පද ඇති බෙදුම් වාදී ලෙස ද අර්ථකථනය කළ හැකිය. සමාජ ක‍්‍රමය සකස් වීමේදී සමාජ සත්වයින්ට හානිකර නොවන හැසිරීම් පිළිගැනීමත් හානිකර වූ හැසිරීම් බැහැර කිරීමත් මේ යටතේ සිදු වේ. එබැවින් සමාජ පැවැත්ම සඳහා ආචාර ධර්ම බොහෝ වැදගත් වන බව දැක්විය හැකිය. මූලික ආචාරධර්ම පිළිබඳ නොසලකා සමාජ පැවැත්මක් අපේක්ෂා කළ නොහැකි බව මින් වටහා ගත හැකි වේ.

                         සමාජ පැවැත්මෙහිලා වැදගත් වන ආචාර ධර්මවල පරමාර්ථය අනෙකාගේ සුවය හා යහපත බව පැහැදිලි වේ. ආචාරධර්ම මගින් සමාජ පැවැත්ම ශක්තිමත් සහ සුරක්ෂිත එකක් බවට පත්කර ඇත. සත්‍යය හා සාධාරණත්වය මූලික ලක්ෂණයක් වශයෙන් හඳුනාගත හැකි අතර පසුකාලීනව මෙම ආචාරධර්ම ආගම මගින් පෝෂණය වූ ආකාරය ද දක්නට ලැබේ. දේශපාලනික බලපෑම් මඟින් ද පෝෂණය වූ ආචාර ධර්ම වල ප‍්‍රාථමික සංකල්පය පදනම් වූයේ පුද්ගලයකුගේ හික්මීම විධිමත් කිරීමට බව තහවුරු වේ. බාහිර කරුණු මත පදනම්ව මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් ගොඩනැගෙන හෙයින් පුද්ගල චර්යාව කෙරෙහි ආචාරධර්ම  පවතින වැදගත්කම හා අදාළත්වය ඒ අනුව වටහා ගත හැකි වේ. මෙය සමාන අදහසක් ජීව විද්‍යාව, සමාජ හා මානව විද්‍යාවන්  තුළ ද සඳහන් වේ. බුදුදහමෙහි ආචාර ධර්මීය පදනම වනුයේ ආධ්‍යාත්මික හා භෞතික ක‍්‍රියාකාරකම් සංවර්ධනය කර ගනිමින් නිර්වාණය අවබෝධ කරගැනීම යි. අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යහපත් ක‍්‍රියා පිළිවෙතක පිහිටා ක‍්‍රියාත්මක වීම අපේක්ෂා කරයි.

                මෙලෙස ගොඩනැගුණු සමාජ ආචාරධර්ම සාම්ප‍්‍රදායික සමාජයේ දක්නට ලැබුණේ තහංචි ස්වරූපයෙන් බව විචාරකයින් පෙන්වා දෙයි. ඒ තුළ ක‍්‍රියාත්මකවන ආචාර, සමාචාර හා ඇවතුම්, පැවතුම් වඩා සංකීර්ණ හා ශිෂ්ට සමාජයක දී එනම් වර්තමානයේ දී ස්වකීය අතීතයේ ස්වරූපය ආචාරධර්ම හා නීති දක්වා පුළුල් කොට ගෙන ඇති බව ද වඩාත් සාවධානව අධ්‍යනය කිරීමේදී පෙනී යයි. ආරම්භක අවධියේ දී එම ස්වරූපය ක‍්‍රියාත්මක වී පසුකාලීනව ආචාරධර්ම වශයෙන් ගොඩනැගුනු මේ සංකල්පය ක‍්‍රමයෙන් සෙසු විෂයන් කරා ද ව්‍යාප්ත වන්නට විය. ආචාරධර්ම යනු එක් විෂයකට පමණක් නොව අනෙකුත් විෂය ක්ෂේත‍්‍රයන් වෙත ද බලපෑම් කළ හැකි සංකල්පයකි. විවිධ වෘත්තීන් කෙරෙහි ආචාරධර්ම පුද්ගලයාගේ සදාචාරාත්මක පැවැත්ම සඳහා සෘජුව දායක වෙයි. මේ ආකාරයෙන් සියලූ විෂය ක්ෂේත‍්‍ර කෙරෙහි බල පැවැත්වීම හේතුවෙන් ආචාරධර්ම වලට හිමි වැදගත්කම ක‍්‍රමයෙන් වර්ධනය වන්නට වූ බව පෙනේ. ආචාරධර්ම පිළිබඳ විවිධ විචාරකයින් විවිධාකාර අන්දමින් නිර්වචනය කර ඇත.

                          ආචාර්ය ජෝන් මැකේන්සි  ආචාරධර්ම පිළිබඳව සිය " A MANUAL ETHICS  " නම් කෘතියෙන් පැහැදිලි කරන්නේ ආචාරධර්ම අපගේ මානසික අත්දැකීම් වල පරම වටිනාකම් අතරින් එකක් පිළිබඳව අධ්‍යනය කරනු ලබන බවයි. එනම් මනුෂ්‍යා තුල පවතින සාධූත්ව ක‍්‍රියාකාරකම් නම් අංශය තුළින් පිළිබිඹු කෙරෙන්නේ මේ අධ්‍යයනයෙන් යනුවෙනි.එයින් පැහැදිලි වන්නේ පුද්ගලයාගේ මානසික අත්දැකීම් අතර පරම වටිනාකමකින් යුක්ත ව ආචාරධර්ම ක‍්‍රියාත්මක වන බව ය. පුද්ගලයාගේ යහපත් ජීවන චර්යා මගින් හා ආචාරධර්මවල පිළිබිඹුවක් නිරූපණය වන බව ද ඉන් දැක්වේ.  යහපත් ක‍්‍රියාකාරීත්වයක් සඳහා ආචාර ධර්ම මනා පිටිවහලක් වන බව ද පැහැදිලිය.

ආචාරධර්ම පිළිබඳ ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයේ සඳහන් වන්නේ මෙවන් අදහසකි.

 " ආචාරධර්ම යනු පුද්ගලයාගේ හැසිරීම් රටාව හෝ ක‍්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා බලපැවැත්වෙන සදාචාර සම්පන්න මූලධර්ම වේ."

එබැවින් ආචාරධර්ම මගින් පුද්ගලයාගේ හැසිරීම් හා ක‍්‍රියාකාරකම්වල ශික්ෂණයක් අපේක්ෂා කරන බව මෙයින් වටහා ගත හැකිය. ආචාරධර්ම සෑම අවස්ථාවකදීම පුද්ගල ජීවිතයේ සුභසිද්ධියත් ශික්ෂණයත් උදෙසා බලපැවැත්වෙන නිර්ණායක වශයෙන් ද වටහාගත හැකිය. එමෙන්ම යහ සංස්කෘතියකින් යුතු සමාජ ස්ථරයක් ගොඩනැගීමේ හා ආචාරධර්ම බොහෝ වැදගත් වන බව පැහැදිලිය. ආචාරධර්මවල පවතින ඥානාන්විත පදනම සම්බන්ධයෙන් ද විවිධ විද්වතුන් අදහස් දක්වා තිබේ. සමාජ මානව විද්‍යාඥයකු වූ ආචාර්ය හෙන්රි සිප්ඩ්වික් දක්වන අදහස මගින් ඒ බව පැහැදිලි වේ.

 " ආචාරධර්ම, සදාචාර නීති හෝ ප‍්‍රඥප්ති මෙහෙයුම් ගැන ගවේෂණය කරන අතර සමහරවිට පරිපූර්ණ සාධාරණ ක‍්‍රියාවක ස්වභාවය සොයයි. මිනිසාගේ යහපත්භාවය සත්‍යමය යහපත හා එයට නියුක්තවීමේ ක‍්‍රමය ගැන ගවේෂණය කරයි. මේ අනුව පෙනෙන්නේ ආචාරධර්ම ක‍්‍රියාත්මක වන්නේ ඥානාන්විත පදනමක් සහිතව මානව සමාජය තුළ බව ප‍්‍රකට වේ. එසේම ආචාර්ය සිප්ඞ්වික් තවදුරටත් අවධාරණය කරන්නේ හරි හා කලයුතු කුමක්ද යනුවෙන් දක්වන විද්‍යාව හෝ අධ්‍යනය ආචාර බව ය."

ඒ අනුව සාධාරණත්වය, යහපත, සත්‍යවාදී බව වැනි දෑ ආචාරධර්ම හා සම්බන්ධ පදනම් සාධක වන බව තහවුරු වේ.                                                
                             
ජනමාධ්‍ය ආචාරධර්ම ප‍්‍රභවය හා ව්‍යාප්තිය

                            ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීයක අවශ්‍යතාව පැන නැගුනේ මේ හේතුව නිසා යැයි යමකුට තර්ක කළ හැකිය. කෙසේ නමුත් මෙහි ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සෑම රාජ්‍යයක්ම පාහේ ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය පෞද්ගලිකත්වය හා මාධ්‍ය භාවිතය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුය.
                     කෙසේ වුව ද යම් සිද්ධියක් විකෘති කිරීම හෝ අසත්‍ය කරුණක් ජනතාවට සත්‍ය ලෙසින් ඉදිරිපත් කිරීම හෝ මගින් ජනමාධ්‍යකරුවෙක් ආචාරධර්ම උල්ලංඝනය කිරීම පමණක් නොව ජනතාවට ද්‍රෝහී වීමේ වරද ද සිදුකරයි. මේ සඳහා යොදාගන්නා ප‍්‍රවෘත්ති අපේ පුවත්පත් තුළින් ම දැකගත හැකිය. මෙම ප‍්‍රවෘත්ති සාධාරණ විචාරයකට ලක් කළහොත් අපට එක් දෙයක් පෙනී යයි. එනම් ප‍්‍රවෘත්තියක් පෙන්වා දෙන පුද්ගලයන් හා කණ්ඩායම් පිළිබඳව කලින් තීන්දුවක් දී ඔවුන් චූදිතයන් කරන බවයි. මේ තත්ත්වයට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ අදාළ ප‍්‍රවෘත්ති ඉදිරියට ගෙන යාමට ඒ ඒ සඳහා කර්තෘ මාණ්ඩලිකයට ප‍්‍රමාණවත් මූලාශ‍්‍රය නොමැතිවීම විය හැකිය. එහෙත් ඒ බව පාඨකයාගෙන් වසන් කිරීම සඳහා මෙහි දී රජයේ බුද්ධි අංශය පාදක කොට ගන්නා අතර ඇතැම් කතුවරුන් ඊට අනුබල දෙන අවස්ථා තිබේ.
                              
          මාධ්‍ය මගින් ජනතාවට සාධාරණත්වය ඉටු කළ යුතු අතර ජනතාවගේ ආත්ම ගරුත්වයට ගරු කළ යුතුය. පුද්ගලයන් ඉලක්ක කරගත් මාධ්‍යට එය කළ නොහැක්කේ තම මාධ්‍ය ප‍්‍රතිපත්ති යම්කිසි රාමුවකට සීමා කර ගැනීමට සිදු වී තිබීම නිසා ය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන යම් යම් දේශපාලන මතවාදවලට කොටුවී සිටින අතර තමන්ට ම ආවේණික වූ න්‍යායපත‍්‍ර වලට අනුකූලව කටයුතු කිරීමට පුරුදු වී ඇත. මාධ්‍ය භාවිතය ඉතා ඉහළ මට්ටමක තිබේ යැයි කියන බී. බී. සී ආයතනයත්, ජාතික මාධ්‍ය ආයතනයක් වශයෙන් සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම අද කටයුතු කරන්නේ තමන්ට ම ආවේණික වූ න්‍යාය පත‍්‍රයකටයි. විශේෂයෙන් ලේක්හවුස් ආයතනය බලයට පත්වන ආණ්ඩුවල දේශපාලන න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යන අතර ඒ සඳහා විවිධ ක‍්‍රමවේදයන් ප‍්‍රයෝජනයට ගන්නා බව දේශපාලනය හරිහැටි දන්නා ඇත්තෝ දනිති.

                               මේ සියලූ කාරණා ඉස්මතු වන්නේ දේශපාලඥයන් සහ මාධ්‍යකරුවන් අතර පවත්නා නිරන්තර අරගලය නිසා ය. ජනමාධ්‍ය පිළිබදව ඇති ආචාරධර්ම පද්ධතිය පිළිපැදීමට ඇතැමුන් මැලිකමක් දක්වන්නේ ඔවුන්ට තම කූට අරමුණු මෙමගින් ඉටු කරගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථාව හැකිලී යන බැවිනි. මේ නිසා ඇතැම් ජනමාධ්‍යකරුවන් ජනමාධ්‍ය මාෆියා කල්ලි ලෙසට හංවඩු ගැසී ඇත්තේ ඔවුන්ගේ ක‍්‍රියා පිළිවෙත නිසා ය. එහෙත් මේ චෝදනාවට එරෙහි වීමට මාධ්‍යකරුවෝ  පියවර නො ගනිති. යම් ආකාරයක විරෝධයක් මතු වුවත් එය ඇල් මැරුණු ස්වභාවයෙන් පැවැතීම කණගාටුවට කරුණකි. විශේෂයෙන් අන් අයගේ අදහස්වලට ඇහුම්කන් නොදීමට සහ ගරු කිරීමට ඇතැම් මාධ්‍යකරුවන් අඩුවීම හේතුකොට ගෙන තම මතය පමණක් නිවැරදි යැයි දැක්වීමට තර්ක ගොඩ නඟති. මේ චේතනාව හේතුවෙන් ජනමාධ්‍යකරුවාගේ විශ්වාසනීයත්වය අභියෝගයට ලක්ව තිබේ. එමෙන් ම මාධ්‍යකරුවන් ද අද පිල් බෙදී ඇති බව අද සිදුවන ක‍්‍රියාදාමයන් මඟින් පිළිබිඹු වේ.

                             අපේ පුවත්පත්වල ස්වරූපය 1918 සැප්තැම්බර් මස 18 වැනිදා ලිපියක් ලියමින් වී. අයි ලෙනින් මෙසේ කරුණු පැහැදිලි කරයි.

"යල් පැනගිය බොරු දේශපාලන මතවලට  හා යල් පැන ගිය අදහස් වලට බොහෝ ඉඩකඩ සපයා ඇති අතර නව ජීවන රටාවක් ගොඩ නැගිම සම්බන්ධයෙන් අපේ පුවත්පත් මෙතෙක් මිඩංගු කර තිබුණේ ඉතා ස්වල්ප ප‍්‍රමාණයකි. "

                       මෙම ලිපිය ලිවීමේදී ලෙනින් භාවිතා කර තිබූ " Political Ballyhoo" යන යෙදුම මෙරට ජනමාධ්‍යවේදීන්ගේ අවධානයට යොමු විය යුත්තකි. මෙයින් කියවෙන බොරු දේශපාලන මතිමතාන්තර යන්නෙන් අදහස් වන්නේ ජනතාවගේ සැබෑ ජීවන තත්වයන්ගෙන් ඈත් වී සිටීම සාමාන්‍ය ජනයා සැබෑව හෙවත් ඇත්ත දැනගැනීමට ඇති කැමැත්තෙන් ජනමාධ්‍යකරුවන් උවමනාවෙන් ම ඈත්කර තැබීම හෝ විවෘත කර දැක්වීම හෝ බොරුවෙන් වසන් කර තැබීම හෝ නුසුදුසු බවය. ලෙනින් කියා සිටියේ " එසේ කොට එම විඤ්ඤාණ මට්ටමෙන් අයුතු ඵල ප‍්‍රයෝජන ලබා ගන්නා ජනමාධ්‍යකරුවා බොරු මනස්ගාත ග‍්‍රාහකයාට නිරතුරුවම සම්පාදනය කරන්නකු බවට පත් වේ. " යනුවෙනි.

                               කෙසේ වෙතත් මාධ්‍ය විශ්වාසනීයත්වයට මේ වන විට බොහෝ දුරට බාධා වී ඇත්තේ ඇතැම් මාධ්‍යකරුවන් මාධ්‍ය ආයතන සමග රැකියාව පැත්තෙන් ඇති බැඳීම යි. එම මාධ්‍ය හා මාධ්‍ය ආයතන තීන්දු කර ඇති ප‍්‍රතිපත්තියට අනුකූල වන පරිදි ප‍්‍රවෘත්ති හා විශේෂාංග එළි දැක්වීමට ඔවුහු උත්සාහ කරති. දෙවනුව වෙළඳපොල ආර්ථිකය මත රඳා පවතින ආයතන ආර්ථික පැත්ත ගැන පමණක් සලකා බලා මාධ්‍ය ආචාරධර්ම නොසලකා හැරීම හේතුවෙන් සමාජ සංස්කෘතික සාරධර්ම පරිහානියට පත්වීමට ඉඩ සලසා ඇත. ප‍්‍රශ්නකාරී කරුණු සම්බන්ධව පැන නගින සංවේදී ගැටලූ සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමේදී ඒක අපේ මාධ්‍ය ප‍්‍රතිපත්තිය ජනමාධ්‍යවේදීහු උත්තරයක් දී තම ඇඟ බේරා ගැනීමට උත්සාහ ගනිති. කුමනාකාරයේ මාධ්‍ය ආචාරධර්මයකට අනුකූලදැයි ඔවුන්ගේම හෘදය සාක්ෂියෙන් ප‍්‍රශ්නකර ගතහොත් ඊට සාධාරණ පිළිතුරක් ලැබේ ද යන්න ගැටළු සහගත ය.

  ඒ පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසනීයත්වය බිඳ වැටීම වළක්වා ගැනීමට නම් කළයුතු වන්නේ ප‍්‍රවෘත්ති තුලනාත්මක ලෙසත් නිවැරදි ලෙසත් පළ කිරීමයි. එහිදී මාධ්‍යකරුවා ස්වයං වාරණයක් පිළිබඳව සැබෑ අවබෝධයකින් යුතුව තම මාධ්‍ය හැසිරවිය යුතු වේ. මාධ්‍ය වෘත්තියේ පැවැත්ම රැුඳී ඇත්තේ තවදුරටත් එය වෘත්තියක් ලෙස ජනතාව විසින් පිළිගනු ලබන්නේත් ස්වයං වාරණයක් පැවතුණ හොත් පමණි. අසත්‍ය, විකෘති, නිර්නාමික එමෙන් ම පක්ෂග‍්‍රාහී ඔප දුප හාස්‍ය ලෙස හුවා දැක්වීම වැනි ප‍්‍රවෘත්ති පළ කිරීම ද කාමුක අපරාධ වලට සම්බන්ධ ළමයින්ගේ සහ තරුණයන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම ද කාමුකත්වයට සහ ප‍්‍රචණ්ඩත්වයට තරුණ පරපුර යොමු කරන ප‍්‍රවෘත්ති විශේෂාංග පළ කිරීම ද මාධ්‍ය වෘත්තිය ආචාර ධර්මවලට පටහැනි ය. ඒත් මේ කිසිවක් ගැන අවධානය යොමු නොකරන ඇතැම් මාධ්‍යවේදීන් සිය වෘත්තිය අවියක් කරගනිමින් ආචාර ධර්ම කෙළෙස් ඇත. මේ නිසා මාධ්‍ය කරන සමාජයක විශ්වාසනීයත්වයට දැඩි අභියෝගයක් එල්ලවී ඇත.


                        මාධ්‍යවේදියා සිද්ධියක් විස්තර කිරීමේ කාර්යයේ දී ඊට අදාළව තොරතුරු එකතු කිරීමේදී සම්පේ‍්‍රෂණය කිරීමේ දී විසුරුවා හැරීමේදි හා ඒ විස්තර කිරීමේදී අනුගමනය කළ යුතු තත්ව ප‍්‍රමිති ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡාවට  ලක්ව තිබේ. "මාධ්‍යකරුවන්ගේ චර්යාවන් පිළිබඳ වූ ජාත්‍යන්තර මාධ්‍යකරුවන්ගේ ෆෙඩරේෂණය" මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මෙසේ සඳහන්ව පවතී.

01.සත්‍යයට ගරු කිරීම හා ජනතාවට සත්‍ය දැනගැනීමේ ඇති අයිතියට ගරු කිරීම මාධ්‍යවේදියාගේ පළමු වගකීම යි.

02.  සිය රාජකාරිය ඉටු කිරීමේදී නිදහසේ හා ස්වාධීනත්වය නියමයන් සුරැකිය යුතුය. නිවැරදි විවේචනයට තමාට අයිතිය ඇති බව තොරතුරු අවංක වූ සද්භාවයෙන්ම ප‍්‍රචාරය කිරීමේ අයිතිය ද හිමි වේ.

03.  තොරතුරු මූලාශ‍්‍ර ගැන මනා කරුණු වැටහීමකින් පසුව පමණක් ඔහු ඇය අදාළ තොරතුරු වාර්තා කළ යුතුය. අත්‍යවශ්‍ය තොරතුරු යටපත් කිරීම නොකළ යුතුය. වැරැදි සහගත ලියවිලි ඉදිරිපත් නොකළ යුතුය.

04.  ජායාරූප හෝ ලේඛන හෝ තොරතුරක් ලබා ගැනීමේ දී නිවැරැදි යහපත් ක‍්‍රමයට අනුදැන සිටිය යුතුය.

05.  හානිකර යම් තොරතුරක් වැරදි සහගත ලෙස පළ වූයේ නම් හෝ ප‍්‍රචාරය වූයේ නම් හෝ වහාම නිවැරදි කිරීමට ඔහු ඇය වගබලා ගතයුතුය.

06.  විශ්වාසය මත ලබාගත් තොරතුරුවල වෘත්තීය රහස්‍යභාවය රැකිය යුතුය.

07.  ජාතිය, ආගම, වර්ගය, ලිංගභේදය, භාෂාව, දේශපාලනය හා ජාතිකත්වය ආදී විවිධ වූ අසමානතා පිළිබඳව තොරතුරු සැපයීමේ දී මාධ්‍යකරුවා එක් පැත්තක් නොගත යුතුය. අඩු සැලකිලි එක් පක්ෂයකට, එක් වර්ගයකට නොදැක්විය යුතුය. අඩු සැලකිලි දැක්වීමේ අන්තරායෙන් මාධ්‍යකරුවා නිදහස් විය යුතුය.

08. ද්වේශ සහගත ලෙස වැරදි අර්ථකථනයට ප‍්‍රවේශවීම, බොරු චෝදනා නැගීම, අන් අයගේ නිර්මාණයක් තමාගේ ලෙස ඉදිරිපත් කිරීම, අපහාස නින්දා කිරීම, සාවද්‍ය තොරතුරු හරහා අවමානයට ලක් කිරීම ආදිය මාධ්‍යකරුවා බරපතළ වෘත්තිය වැරදි ලෙස සිහිකට යුතුය.

09.  සිය රාජකාරියේ විශ්වාසය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සුරැුකිය යුතුය. විවිධ රටවලට අදාළව පණවා ඇති දේශීය මාධ්‍ය නීති රීති ද මීට අමතරව මාධ්‍යකරුවා විසින් පිළිපැදිය යුතු යැයි රජය මගින් පනවනු ලබන නීතිමය තත්ත්වයන්ට ද අදාළ පරිදි ගරු කළ යුතුය.

( 1954 වසරේ ජගත් සංගමයෙන් ස්ථාපිත කරන ලදුව, යළිත් 1986 දී සංගමය මගින් සංශෝධනය කරන ලදී. International federation of journalists IFJ අනුග‍්‍රහයෙනි.)

සමාජයේ සෑම අයකුගේම විනිවිදභාවය හා පාරිශුද්ධත්වය පිළිබඳව නිරතුරුවම ප‍්‍රශ්න කරන ජනමාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතන විනිවිදභාවය සහ පාර්ශුද්ධත්වය ගැන බොහෝ දේශපාලනඥයින් අභියෝගයන් එල්ල කරන්නේ තුලනාත්මක ප‍්‍රතිපත්ති, මාධ්‍යකරුවන් විසින් අනුගමනය නොකිරීම නිසා ය. මෙම අභියෝගයේ දී මාධ්‍යකරුවන් විසින් දක්වනු ලබන ප‍්‍රතිචාරය කුමක්ද යන්න පිළිබදව ජනතාව නිරන්තරයෙන් අවදියෙන් සිටිති.

ජනමාධ්‍යකරුවා පිලිබදව වී.අයි. ලෙනින්  දැන් අවධානය කරන කරුණක් නම් ජනමාධ්‍යකරුවා සාමාන්‍ය ජනතාවට ගුරූපදේශ දිය යුතු බවයි. මේ සඳහා ජනමාධ්‍යකරුවා ජනතාව ජීවත්වන අයුරු සෙවිය යුතුය. ජනතාවගේ අවශ්‍යතාවන් පිළිබඳ දැනුමක් තිබිය යුතුය යන්නය.


ජනමාධ්‍ය ආචාරධර්ම

                       

සන්නිවේදන විෂය කෙරෙහි ද ආචාර ධර්ම සෘජු  හා ප‍්‍රබල අන්දමින් බලපෑම් කරන අතර එමගින් ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආචාරධර්ම වල ප‍්‍රභවය සිදු විය. ජනමාධ්‍ය ආචාරධර්ම යන්නෙන් අදහස් වන්නේ ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයේදී වැදගත් වන්නා වූ විවිධ ක‍්‍රියා පිළිවෙත් වශයෙන් හඳුනාගත හැකිය. ජනමාධ්‍ය ආචාර ධර්ම අනුව සංදේශ හා සම්බන්ධව ඇති කරගන්නා වූ විධිමත් අගයක් සහිත සමාජමය වටිනාකම් වලට හානි නොවන ආකාරයේ එක්තරා පිළිගැනිම සමුදායක් බව එහි අන්තර්ගතය විමසීමේදී පැහැදිලි වෙයි. ඒ අනුව මෙකී මාධ්‍ය ආචාරධර්ම ස්ථාපිත වන්නේ සමාජ වටිනාකම් තවදුරටත් ආරක්ෂා කිරීමට බව පැහැදිලිය. විශ්ව ගම්මාන සංකල්පයේදී ජනමාධ්‍ය පුද්ගල ජීවිතය හා බද්ධව පවතී. එසේ ම ජනමාධ්‍ය සංදේශ නිර්මාණය කරන්නකු වෙමින් සන්නිවේදක ස්ථානයේ රැඳී සිටියි. එබැවින් ජනමාධ්‍ය ස්වකීය ක‍්‍රියාකාරිත්වයේදී සෑම විටම තමන් සතුවන වගකීම පිළිබඳ වඩාත් අවධානය යොමුකිරීම වැදගත් වේ. 19 වන සියවස වනවිට ජනමාධ්‍යන්ට ලෝකයේ ප‍්‍රබල භූමිකාවක් නිරූපණය සඳහා අවකාශ සැලසෙන බව ඉතිහාසය පිරික්සීමේදී තහවුරු වේ. ජනමාධ්‍ය ආචාරධර්මවල බිහිවීම ද මෙයට සමාන්තරව සිදුවී ඇත.

                          ජනමාධ්‍ය ආචාරධර්ම ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එය දශක නවයක් පමණ ඈතට දිවයයි. එනම් ජනමාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් බිහි කිරීමේ මූලික අවශ්‍යතාව ඇති වූයේ 1920 දශකයේ මැද භාගයේදී පමණ ය. ජනමාධ්‍ය ආචාරධර්ම ගැන මුලින් ම සඳහන් වන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන වාර්තාවෙහි ය. ඒ අනුව 1928 වර්ෂයේදී ජාත්‍යන්තර කම්කරු සංවිධාන වාර්තාවේ ජනමාධ්‍ය ආචාරධර්ම සම්බන්ධයෙන් සාධනීය පියවරක් තබා තිබෙන අතර පසුකාලීනව සකස් වූ මාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහ කෙරෙහි සැලකිය යුතු ආකාරයෙන් බලපෑමක් සිදුකර ඇති බව දැක්විය හැකිය. කලාවේදීන්ගේ සේවා හා ජීවන තත්ත්වය පිළිබදව දක්වා ඇති අවධානය වැදගත් තත්වයක් වශයෙන් සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම ජර්මානු සම්බවයක් සහිත රටවල මාධ්‍යවේදීන්ට ජීවත්විය හැකි වේතනයක් සහ සාධාරණ සේවයක් ලබාදීම පිළිබඳ ආචාරධර්ම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සංවර්ධිත අදහස් ය. අනුව පළමු ව ආචාරධර්ම සංග‍්‍රහය අපේක්ෂා කර ඇත්තේ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ වෘත්තීමයභාවය පිළිබඳ අවධානය යොමු කිරීම බව තහවුරු වේ. එමෙන් ම මෙම අදහස් මගින් ජනමාධ්‍ය ආචාරධර්ම පටු සීමාවක් යටතේ අර්ථකථනය කළ නොහැක්කක් බව පැහැදිලිවෙයි. මෙලෙස ආරම්භ වූ ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය ක‍්‍රමානුකූල අන්දමින් වර්ධනය වෙමින් සමාජ ප‍්‍රගමනය කාර්යයෙහිලා පෘථුල මෙහෙවරක් ඉටු කරන්නට විය.

 එහෙත් මෙයට පූර්වයෙන් ආචාරධර්ම නමින්ම නොවූව ද එහි හරයට සමානත්වයක් දක්වන අදහස් ඉදිරිපත්ව තිබූ බව මූලාශ‍්‍ර විමසීමේ දී තහවුරු වේ. පුවත්පත් කලාවේ පුරෝගාමියෙකු වශයෙන් සැලකෙන ජෝසප් පුලිස්ටර් පුවත්පත් ක‍්‍රියාකාරිත්වය පිළිබඳ දැක් වූ අදහස් එයට උදාහරණ වේ.

 " හැමවිටම සුගතිය සහ ප‍්‍රතිශෝධනය සඳහා සටන් කරයි. අසාධාරණය හෝ අලාභය කිසිදෙයක් නො ඉවසයි. හැම පක්ෂයේම මිනිසුන් අවුස්සන කතා වලට විරුද්ධ වෙයි. කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධයක් නැත. හැම විටම වරප‍්‍රසාදලාභී පන්ති වල හා මහජනයා කොල්ලකෑම් වලට විරුද්ධ ය. දිළිඳුන්ට අනුකම්පාවෙන් අඩුවක් නැත. හැමවිටම මහජන සුබසිද්ධිය සඳහා ක‍්‍රියා කරයි. ප‍්‍රවෘත්ති පළ කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවේ. හැමවිටම දැඩි ලෙස ස්වාධීනය. වරදට පහරදීමට කිසිවිටෙක බිය නැත."

 මෙම අදහස පසු කලෙක  ඇමරිකාවේ සෙන් ලූවීපෝස්ට්  පුවත්පතෙහි ආදර්ශ පාඨය වූ බව සඳහන් වේ. පසුව සමහරුන් මේ අදහසට අනුව ක‍්‍රියාත්මක වූ බවත් ඉන් මහජනයා කෙරෙහි තැකීමෙන් යුක්තව වාර්තාකරණය සඳහා ඔවුන් පෙළඹුණු බවත් වැඩි දුරටත් දැක්වේ. එසේම ආදර්ශ පාඨයෙහි ඇතුලත් අදහස් ජනමාධ්‍යවේදීන්ගේ සමාජ වගකීම පිළිබඳ යම් ආකාරයක උපදේශනයක් ලබාදෙන බව ද පැහැදිලිය.

                            ජනමාධ්‍යවේදීන්ට එකල විශ්වීය වශයෙන් කලාපීය වශයෙන් හෝ ජාතික වශයෙන් හෝ පොදු නියාමනයක් නොමැති වූ බැවින් ඔවුන් ස්වයං නියාමනයක් කෙරෙහි නැඹුරු වූ ආකාරය හඳුනාගත හැකි ය. ඒ අනුව ආයතනික වශයෙන් සකස් කරගත් ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහ කෙරෙහි ඔවුන් උනන්දු වූ බව පෙනේ. එහෙත් මාධ්‍යවේදීන් විවිධ අංශවලින් තම තමන් අනුගමනය කළ යුතු ස්වයංපාලිත චර්යාධර්ම මාලා පිළියෙළ කළ අතර ඇමරිකාවේ පුවත්පත් කතුවරුන්ගේ සංගමයේ අදහස් වඩා ඉස්මතුව පැවතිණි. එම සංගමය 1922 දී ආරම්භ වූවකි. "ඇමරිකන් සොසයිටි ඔෆ් නිව්ස් පේපර් එඩිටර්ස්හි"  ආරම්භයේදී මෙසේ සඳහන් විය. ඇමරිකාව පුවත්පත් කලාවට වසර දෙසීයකට වඩා වැඩි වුවත් පුවත්පත් කර්තෘවරුන් මුහුණපාන ප‍්‍රශ්න ගැන හෝ ඔවුන්ගේ වෘත්තියභාවය ප‍්‍රවර්ධනය සඳහා හෝ කිසිදු සාමූහික ප‍්‍රයත්නයක් ගෙන නැත. එහෙයින් සංගමයක් ලෙස පිළියෙළ කළ චර්යාධර්ම මාලාව පුවත්පත් කලාව පිළිබද ධර්ම මාලාව ලෙස හැඳින්වේ.

                              මෙයින් ඉතා පැහැදිලිව තහවුරු වන්නේ පොදු නියාමනයක් නොවූ තැන්හි මාධ්‍ය ආයතන හා සංවිධාන වලට විශේෂිත මාධ්‍යවේදීන් විසින් ස්වයං නියාමනය සඳහා යොමුවී ඇති බවයි. එකී අවශ්‍යතාවය මතුවූයේ සමාජ වගකීම යන සංකල්පය හේතුවෙනි. නිදහස් මතවාදී සන්නිවේදන සංකල්පය පසු එහිදිගුවක්ව බිහිවන සමාජ වගකීම් සන්නිවේදන සංකල්පය සඳහා බලපාන 1947 වර්ෂයේ පළ කළ හචින්ස්  කොමිසමේ යෝජනාද මාධ්‍ය ආචාරධර්ම ප‍්‍රජා දායකත්වය දක්වා ඇත. සමාජ වගකීම් සන්නිවේදන සංකල්පය දී පැහැදිලිවම පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය පවත්නා අවශ්‍යතාවය යි. එම සංකල්ප මගින් ජනමාධ්‍යවේදීන් හා රජය අතර ඇතිකර ගනු ලබන පොරොන්දු මාලාවෙදි ආචාරධර්මීය ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇත. එහි දී පෙන්වා දෙන්නේ පොදු මතය අනුව මාධ්‍ය මගින් ආචාරධර්ම පද්ධතිය ඇතිි කල යුතුයි යනුවෙනි. ඒ අනුව සමාජ වගකීම් සන්නිවේදන සංකල්පය ද යම් ආකාරයකින් ජනමාධ්‍ය ආචාරධර්ම විෂය ජනමාධ්‍යවේදීන්ට නිරන්තරයෙන් සිය වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගැනීමටත් වෘත්තීමයභාවය ආරක්ෂා කරගැනීමටත් අවශ්‍ය වීම තවත් අතකින් මාධ්‍ය ආචාර ධර්ම ප‍්‍රචාරයට දායකවී ඇත.

 මෙම ආචාරධර්ම මාලා මුල් වරට ආරම්භ වී ඇත්තේ පුවත්පත් මාධ්‍ය සමගාමීව බව හඳුනාගත හැකි ය. පෙර දක්වන ලද ඇමරිකානු පුවත්පත් කතුවරුන්ගේ සංගමය එක්ව 1923 වසරේ දී සම්මත කරගත් ආචාර ධර්ම සංග‍්‍රහය ආරම්භයේ මෙවැනි අදහසක් දැක්වෙයි.

 "පුවත්පතකට පාඨකයන් ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය සීමා කරන්නට ඇති එකම කරුණ මහජන සුබසිද්ධිය සඳහා අවධානය කිරීමයි. මහජන  අවධානයේ කොටස්කරුවකු වීමෙන් පුවත්පතට ලැබෙන වාසිය පත‍්‍රය වගකීම පිළිබඳ හැඟීම තහවුරු කිරීමයි. එම කරුණු පත‍්‍රයේ සෑම තරාතිරකම කාර්ය මණ්ඩලය ද එකතුවෙන් කරන්නකි. කිසියම් පුවත්පතකට සම්බන්ධ කෙනෙක් තම බලය කිසියම් ස්වාර්ථකාමී ආකාරයකට හෝ අනුචිත පරමාර්ථයකට කැප කරන්නේ නම් ඔහු කෙරෙහි විශ්වාසය තැබිය නොහැකිය."

 මෙහි සඳහන් වන අන්දමට මහජන සුබසිද්ධිය පිළිබඳවත් මහජන විශ්වාසය දිනාගැනීම සඳහා පුවත්පතේ වගකීම් සහගත බව දැනවීමත් යන කරුණු මතු කර දක්වන සම්බන්ධතා ආචාර ධර්ම සංග‍්‍රහයේ පදනම යි. එබැවින් ආචාරධර්මවල මූලික ආධ්‍යාශය විය යුත්තේ සමාජ වගකීම බව පැහැදිලිව කිව හැකිය.

                              මෙයට අමතරව 1925 දී පළමු වතාවට විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපිත වී ඇත. එමගින් ගුවන් විදුලි මාධ්‍යය සඳහාත් රූපවාහිනී මාධ්‍යය සඳහාත් බලපැවැත්වෙන පරිදි ආචාර ධර්ම සංග‍්‍රහයක් යෝජනාකර ඇත. ඒ අනුව 1925 දී පළමු වතාවට පිහිටුවා ගත් National association of broadcaster ඇමරිකානු සංවිධානය මඟින් මුල් වරට විද්‍යුත් මාධ්‍ය සහ චර්යාධර්ම පිළියෙල කර තිබේ. ඒ අනුව ගුවන් විදුලිය සඳහාත් රූපවාහිනී සඳහා චර්යාධර්ම මාලා දෙකක් ඇමරිකාවේ ක‍්‍රියාත්මක කර ඇති බව අධ්‍යයනයේදී හඳුනාගත හැකි වේ. මේ අන්දමට විද්‍යුත් මාධ්‍ය ආචාර ධර්ම මාලාවක් පිළියෙල වීම සමග මාධ්‍යයේ සමාජ වගකීම කෙරෙහි වඩාත් පුළුල් වශයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ප‍්‍රකාශයට පත්විය. පසුකාලීනව මාධ්‍ය ආචාර ධර්ම සංග‍්‍රහයක් වඩාත් සම්බන්ධ විවිධ ආකාරයෙන් බිහි වීම දක්නට ලැබුණි. ක‍්‍රමානුකූල අන්දමින් බිහිවූ මාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය විද්‍යුත් මාධ්‍ය අරමුණු කරගනිමින් වඩා සංවිධානය වී උත්පාදනය වූ බව පහත සඳහන් අවස්ථාවෙන් පැහැදිලි වෙයි.

 "වර්ෂ 1965 දී මහා සම්මේලනයේදී අන්තර් ඇමරිකානු ගුවන් විදුලි සංගමය විසින් ගුවන් විදුලි හා රූපවාහිනි සඳහා ආචාර ධර්ම පද්ධතියක් පිළියෙල කරනු ලැබීය. මෙම ආචාරධර්ම ප‍්‍රකාශයේ කාර්යයේ වගකීම, අධ්‍යාපනික, සංස්කෘතික හා විද්‍යාත්මක වැඩසටහන් ආශ‍්‍රිත මූලික කරුණු ඇතුළත්ව තිබේ."

 මෙම ආචාරධර්ම සංග‍්‍රහ මුල්කාලීනව විශ්ව ව්‍යාප්ත මට්ටමකින් දක්නට නොලැබුණත් පසු කාලීනව ඒවා කලාපීය වශයෙන් ක‍්‍රියාත්මක වන මාධ්‍ය ආචාර ධර්ම සංග‍්‍රහය වශයෙන් නිර්මාණය වන්නට වූ බව පැහැදිලි වේ. ඒ ඔස්සේ වඩාත් සාර්ථක හා ප‍්‍රායෝගික වශයෙන් ක‍්‍රියාත්මක කළ හැකි වූ මාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහ බිහි වී ඇත.

                         මේ තත්ත්වය දිගින් දිගටම සංවර්ධනය වෙමින් වඩ වඩාත් ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම නිසා 1970 වන විට යුරෝපා ආර්ථික හවුල සන්නිවේදකයන් වෘත්තිය සමිති හා එකතුවී යුරෝපීය සන්නිවේදන සංගමයක් පිහිටුවා ගෙන ජනමාධ්‍යවේදීන්ගේ වගකීම් අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ ප‍්‍රකාශයක් අනුමත කරනු ලැබීය. මෙයට අමතරව පසුකාලීනව ආසියා ශාන්තිකර කලාපයට විශේෂිතව විද්‍යුත් මාධ්‍ය සඳහා අදාළ වන පරිදි පොදු ආචාරධර්ම සංග‍්‍රහයක් 1996 වසරේදී බිහි වීම දක්නට ලැබේ. කලාප මට්ටමින් ආචාරධර්ම සංග‍්‍රහයක් සකස්කර ගැනීමට ගත් සාර්ථක ප‍්‍රයත්නයක් බව හඳුනාගත හැකි ය. එවැනි ආකාරයෙන් ආචාරධර්ම සංග‍්‍රහයන් බිහිවීම මඟින් සියලූ ජාතීන්ගේ සංස්කෘතික චර්යාවන්ට ගරු කිරීම තවදුරටත් ශක්තිමත් වූ බව හඳුනාගත හැකි ය. මෙම ආචාරධර්ම සංග‍්‍රහයෙහි ඉතා පැහැදිලිව ඉස්මතු කරන කරුණක් වන්නේ ආසියා ශාන්තිකර කලාපයේ සන්නිවේදකයන් සියලූ දෙනාම කලාපය සංස්කෘතික හා සාරධර්ම වල විවිධත්වය පිළිබඳ අවබෝධයකින් ද සංවේදී සංවේදිත්වයෙන් ද යුක්ත විය යුතු බවයි. මෙවැනි ආචාර ධර්ම සංග‍්‍රහයක් බිහි වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආචාරධර්ම සංග‍්‍රහ වඩාත් ශක්තිමත් මෙන් ම සංකීර්ණ වූ ඒවා බවට ද පත්විය.


මෙම ආචාරධර්ම සංග‍්‍රහ වෘත්තිය ආචාරධර්ම පද්ධති සහ ආයතනික හා ශීතකරණ පද්ධති වශයෙන් ක‍්‍රියාත්මක තලයේ දී දෙවර්ගයක් යටතේ හඳුනාගත හැකිය. එමෙන්ම විවිධ පනත් ක‍්‍රියාත්මක ඇසුරින් ක‍්‍රියාත්මකවන සහ ස්වයං ආචාරධර්ම සංග‍්‍රහ වශයෙන්ද හඳුනා ගන්නට ලැබේ. නියෝගානුකූලව ක‍්‍රියාත්මක වන ආචාරධර්ම අතරට නෛතික රාමු හා ආඥපනත අයත් වන අතර ස්වාධීනව ජනමාධ්‍යවේදීන්ම පනවාගනු ලබන ආචාරධර්ම යටතට  ස්වයංවාරණ ස්වභාවයෙන් එන ජනමාධ්‍ය සංවිධාන පුවත්පත් මාධ්‍ය ආයතන වැනි ආයතන මගින් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කරන ආචාර ධර්ම සංග‍්‍රහය හඳුනාගත හැකිවෙයි. ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය මගින් ජනමාධ්‍ය ප‍්‍රමිතීන් බිහිවන බව අවසාන වශයෙන් දැක්විය හැකිය.