Thursday, July 26, 2018

ආදරය කරන්න … වෙනස් විදියකට …






ගස් කොළන් චංචල ය. අලංකාර ය. වසත්සමය ළං වූ පසු ඒවායෙහි සුන්දරත්වය අතිශය චමත්කාර ය. මනනන්දනීය ය. හිරු එළයෙහි රුවගුණ ගසට වැලට උරාගෙන එතුළින් නව යොවුන් විය ලබා යොවුන් වියෙහිදී ඒවායෙහි සුගන්ධවත් බව මල් මකරන්දයන් ඔස්සේ දසන්තය ම සුවදවත් කරනුයේ අහංකාරකමකින් බිඳකුදු එයට මුසු නොකොට ය. ඒ සුවද මකරන්දයන්ගේ පහස ලබන්නට දසත විහිදුණු මල් බඹරුන් ආදරයෙන් ළං වනුයේ එහි වු වටිනා ම සම්පත වන පැණි උරා බී තම කුස පුරවාගෙන ආපසු නික්ම යාමට යි. රොන්සුණින් තැවරුණු මල්හි පැණිබිඳු සිඳී ගිය කල්හි එහි වටිනාකම අඩුවන බැව් නොරහසකි. සොබාදහම තුළ එවන් වූ විපර්යාසයන්ගෙන් සංයුක්තවන කල්හි ඒ තුළින් මේ ජිවී ලොකයේ පැවත්ම තීරණය වේ. 
        එලෙසින් වූ සංකල්පයක ම පිහිටි මනුසත් ලොව දෙස නෙත් යොමන කල්හි ඒ තුළ ද ඇත්තේ එම සංසිද්ධිය ම යැයි වැටහෙන කරුණකි. පෙරුම්පුරා පෙරුම්පුරා ආලෙන් වෙලී දෙවුරෙහි උණුසුම් විඳ පෙකණියකින් පෙකණියකට ජීවය කුඩා කිරිකැටි සිගිත්තෙකු ලෙසින් පණකෙන්ද ගොඩනැගුණු කල්හි මව්ගේ කුස තුළ දඟලන පොඩි සිගිත්තාගේ කළලයට ඇය ළංවනුයේ, ආදරය කරනුයේ රුවගුණවත් නොදැක ය. නොදැන ය. ලෙයට ලෙය සම්බන්ධ ව එසේ ගොඩනැගෙන්නේ ආදරයෙන් ආවරණය වූ දාරක ස්නේහයේ උණුහුම යි. එය වූ කලී ලොව ඇති උතුම් ම වස්තුව වන මා පිය ආදරය යි. 
එවන් අයුරින් ආදරයේ හැඩහුරුව බෙදී යන කල්හි යෞවන පේ‍්‍රමය ද උත්තරිතර ය. උත්කෘෂ්ට ය. නෙතින් නෙතක අරුත දැනෙනා, හදින් හදට සිතුවලි යා කෙරෙනා, වෙනදාටත් වඩා වැඩියෙන් ඔහු හෝ ඇය මා හට දැණුනේ නම් එය වත්මනේ ආදරය ලෙස අප අරුත් ගන්වන්නෙමු. ආදරයෙන් තොර වූ සජීව ලොවක පැවැත්මක් නම් සිහිනයක් ම පමණි. සෑම දෙයක ම පැවැත්ම රඳා පවතිනුයේ එනිසාවෙන් ආදරයේ ආලෝකයෙනි. එහි වූ උණුසුමෙනි. ආදරයට ආදරය කිරිම තුළ අපට එම ආදරය සදාකාලිකව ම ඒ සුවපහස අත්විඳීමට සොබාදහම නම් උදව්කරනා බැව් සැම දන්නා කරුණකි.

ගසක් හොදින් වැඞී එහි මල්, ඵල හටගන්නා කාලය වූ කලී වසත් සමය යි. පුද්ගලයෙකුට ද එසේම ය. ඔහුට හෝ ඇයට තම දිවියේ වසත්සමය හරිහැටි ආදරය දකින, ආදරය විඳින සමය යි. ළමා වියෙන් නික්මි නව යොවුන් විය ඔස්සේ යොවුන් වියට පා තබන තරුණයා සහ තරුණියට ආදරය අත්‍යවශ්‍ය ය. මන්ද තරුණ වයේ සුන්දරත්වය සැබවින් ම ගොඩනගණුයේ මෙම ආදරය නම් වු උත්තරීතර සංකල්පය ම යැයි මා දකිමි. තරුණ විය ලැබු පමණින් ආදරය සොයා දිය පිපාසෙන් දිවයන මුව පොව්වෙකු ලෙසින් ඉවක් බවක් තොරව දසන්තයේ සැරිසැරීම නොකළ යුතුය. මන්ද ආදරය යනු එසේ කළබලයෙන් සොයාගත හැකි දෙයක නොවේ. එය වූ කලී සෙමින්, පිළිවෙළින් සහ උපේක්‍ෂාවෙන් සහ අපේක්‍ෂාවෙන් යුතුව ළඟාකරගත යුතු වූවකි. ගසකට වැලකට නිශ්චිත කාලයේදී එනම් වසත් සමයේ ඵල දරන්නට මල් රොන් සුණු විසුරුවන්නට කාලය ලබාදෙනුයේ කාලන්තරයක් තිස්සේ උපේක්‍ෂාවෙන් බලා සිටිමට ඉඩ ප‍්‍රස්තාව ලබාදී ය. අප ද ඒ ආදරය සෙවීමෙදී අනුගමනය කරන්නේ නම් එම මල් ආකාලයේ මිලින වන්නේ නැත. 
 කෙනෙකුන් ආදරයක් සොයනුයේ පෙමින් බැදී ආලයෙන් සතුටින් හිඳ, රන්හුයෙන් දෑගිලි බැඳ, රන්පෝරු මස්තකයේ අෂ්ට වූ ගීතිකා ගායනා මධ්‍යයේ උඩට උඩුවියන් ද පයට පාවඩ ද එලා දහස්සන් සතුටුකොට, පතිකුලයට ගොසින් කැදලි තනා සතුටින් දිවි ගෙවන්නට ය. ඇතමෙක් ඒ කිසිත් නොවු කල්හි හොර රහසේ ම තම රහස් සඳ එළියට පමණක් කොඳුරා කැදලි තනන්නෝ ද වෙති. ඒ කෙසේ වුව ද එම හදවත්හි බැඳීම තීරණය කරණුයේ දෙදෙනාගේ අදහස් ගැළපීම මත වීම සුවිශේෂි වේ.
ලෝකය එදා මෙන් නොව බොහෝ දේ විපර්යාසයන්ට නතු වූ මොහොතක ආදරයට නිශ්චිත අර්ථකථන තැනීම අපහසු කටයුත්තකි. නමුදු එළෙසින් ම ආදරය ද නුතනය තුළ විපර්යාසයට ළක් වී ඇති බව නම් හැම දන්නා කරුණකි. ගීත, කවි සංකල්පනාහි ආදරය නම් සඳ එළිය සේ අචින්තයි යැයි මියුරු පද වැල් තැනුව ද නුතනය තුළ එය කෙතරම් වලංගුද? එය සමාජය පිළිගන්නවාද? යන්න ඉදිරියේ ඇත්තේ් මා හට ද ප‍්‍රශ්නාර්ථයකි. එය අප ලෝකයාට ප‍්‍රදර්ශනයට, අනෙකාගේ අවධානය තමා වෙත ඇදගන්නටත් යොදාගන්නා දෙයකැයි නුතනය තුළ එය අරුත් ගන්වා ඇත්තේ ය. එය ම ක‍්‍රියාවට නැංවීමට ඔවුන් කටයුතු කරයි.

පෙමින් බැඳී සිත් යුගලයේ ආදර සම්බන්ධය ඔවුන් දකිනා පිරිස් සතියට වරක සිනමා පටියක පහස, සිනමා ශාලාවක පහස අත් නොවිඳහොත් දැගිලි බැඳගෙන හැම කල්හි ඒ මේ අත ඇවිද නොගියහොත්, නිතර ම තම සවණේ දුරකථනය රැව්පිලිරැව් නොදුනහොත් ඔවුන් සිතනුයේ එම දෙදෙනා තුළ ආදරයක් නොමැති බව යි. ඒ ඔවුන් නුතන සමාජ රටාවට අනුව ගොඩනගාගත් පුහු මානසිකත්වයක් නොවන්නේද? දෙදෙනෙකු ආදරයෙන් බැදුණා යැයි කෙනකුගේ නිදහස එනම් ඇයගේ හෝ ඔහුගේ නිදහස අහිමි කිරිම අසාධාරණ ය. එය දෙදෙනාට ම හිමිවිය යුතුය. තරුණ වියේ ආදරය සුන්දර ය. එය අපි ඉතා හොඳින්, ප‍්‍රවේශමෙන් අත්විඳිය යුතුය. හරිහැටි තේරුම් නොගත් කල්හි විවාහ වී ගතකළ යුතු  දිවිය පෙම්වතුන් සමයේදී ගත කරයි. පසුව ඔහු මල්රොන් ගෙන, මල හැරයන බඹරා සෙයින් ඇය හැරදමා යන්නේ හේතු ඇතිවාද, නැතිවාද නොවේ. එය දෙදෙනාගේ ම මෝඩකම කි. එහි නිවැරදි බව ඔබ තීරණය කරනවානම් මා ඉතා සතුටු ය. එලෙසින් අත් පටලවාගෙන, හැමතැන්හි නොසිටි කල්හි සමාජය දකින්නට පෙළඹී ඇත්තේ ඔවුන්ගේ සන්නිවේදනයේ දුර්වලතාවයක් නිසා නොවේද? එවන් වූ අය සැබැම ආදරය ලබන, ආදරය පුදන, සතුටින් සිටිනා අය නොවන්නේද? ඔවුන් තුළ ආදරයක් තිබිය නොහැකිද?
පෙම්වතුන්ලෙ සින් ඔවුන් එසේ සිටිම නොදැකීම දකින්නාගේ දුර්වලතාවයක ලෙස හඳුනාගත හැකිය. දෙදෙනාගේ ආදරය තීරණය වනුයේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් වී එකට ගතකරන කලාපරාසය මත නොවේ. දුරකථනය දෙකන් මාරුකරමින් කල් මැරීම මත නොවේ. තාක්ෂණය කාලය සමඟින් අප දියුණු විය යුතුය. කාලයට අවශ්‍ය ලෙස අප හැලහොල්මනකින් තොරව අවශ්‍ය නිසාවෙන් දිවයාම නොකළ යුතුය. හැමදෙනාගේ ම හදවතේ රිද්මය එක හා සාමාන ය. නමුත් ආදරය එකිනෙකාට දැනෙන, ආදරය කරන රිද්මය වෙනස් ය. එය අප හරිහැටි හඳුනාගත යුතුය.
සුර්ය රශ්මියෙන් දසන්තය ම ආලෝකමත් ව කදෝපැණි ළාදළු මතින් වියැකී යයි. ආදරයේ වටිනාකම නොදැන, රිද්මය තේරුම් නොගෙන ආදරය කිරීම අනතුරුදායක ය. කෙසේ නමුදු ආදරය අපට අවැසි ය. නමුදු අප ආදරයේ රිද්මය හඳුනාගත යුතුය.
ගීත, රූප රචනා, සිනමා පට, ටෙලිනාට්‍ය සුරංගනා ලෝකයන් තුලින් ෆැන්ටසි හීනයන්ට ඔබ ගෙනයයි. එය තාවකාලික ය. එය යථාර්ථයක් කරන්නට යාම නොකට යුතුය. ඔබ ද එසේ ම ආදරය කළ යුතුයැයි නිගමනය කොට නැත. නමුත් අප අපගේ හදවතට එකඟ, අවංක ව, සිතුම් පැතුම්වලට ගැළපෙන අයුරින් ආදරය කළ යුතුය. ආදරයට තහංචි නැත. නමුදු අප එයට තහංචි දමාගත යුතුය. එවිට සුපිරිසිදු ආදරය සුරක්‍ෂිත කරගත හැකි නොවේද? අපට හැඟෙනා දැනෙනා ලෙසින් ආදරය කිරීම තුළ, උපෙක්‍ෂාව ඉවසීම ළගාකරගැනීම තුළ, එය කළබලයෙන් කරනා දෙයකට වඩා සුන්දර නොවේද? එසේ වීම තුළ එකිනෙකාගේ තේරුම්ගැනීමේ කලාව මනාවට ලෝකයාට නෙතින් ඔවුන් දෙස බලා සිටින්නට පි‍්‍රය උපදවන්නේ ය. එය ම ඔවුනට ආශිර්වාදයක් ම වන්නේ ය.
කුමරි බඹසර, කුමර බඹසර නුතනයට වලංගු නොවන්නා ලෙස සැමදෙනා සිතුව ද එතුළින් සමාජ සන්දර්භය සුපෝෂණය කරන්නට ලබාදුන් සන්නිවේදනාර්ථ පෙම්වතුන්ට සහ සමාජයට කොතරම් අගනේද? එය සමස්ත සමාජයට ම සුභ පණිවිඩ එක්කලකි. යල්පැනගිය සංකල්පයක් ලෙස ඒවා නුතනය තුළ බැහැර කිරීම තුළ ම බුද්ධි මට්ටමේ ප‍්‍රමාණය අපට ඒ තුළින් හෙළිවන කරුණකි.

මලක සුන්දරත්වය එහි සුවඳ මකරන්දය හා පැණි ගොමුවෙන් ගොඩනැගේ. එය අහිමි වු කල්හි මලෙහි වටිනාකම මෙන් ම පෙම්වතියගේ ද වටිනාකම පිළිබඳ සොබාදහම සැමට පණිවිඩ කියාපායි. එනිසා කවුරුත් කුමක් කළ ද කම් නැත. අප උපේක්‍ෂාවෙන් ආදරය විඳින්නට සහ එයට ආරක්‍ෂාවක් සපයා ආරක්‍ෂා කරන්නටත් ඔබ වගබලා ගන්න. එවිට ඔබේ ආදරය තව තවත් ලස්සන වේ යැයි මම සිතමි. කරන්නන්වාලේ නොකරමින් අනෙක් අයට වඩා වෙනස් අයුරින් ආදරය කරන්න ඔබත් උත්සාහ කරලා බලන්න. පුලූවන් වෙයි ඔබට ආදරයේ සැබැ සුන්දරත්වය සොයාගන්නට සහ එය අත්විඳින්නට.


No comments:

Post a Comment